කොවිඩ්-19 සම්භවය පිළිබඳ දීර්ඝ කාලයක් පුරා බලා සිටි වාර්තාව අද (30දා) නිකුත් කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්රෙයීසෙස් ජිනීවා නුවරදී ඊයේ (29දා) පැවසීය.
"මේ වසර මුලදී වුහාන් වෙත පැමිණි කණ්ඩායමෙන් SARS-CoV-2 වෛරසයේ මූලාරම්භය පිළිබඳ සම්පූර්ණ අධ්‍යයන වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයට ලැබී තිබෙනවා." ටෙඩ්රොස් පැවසීය. වාර්තාව තවමත් ප්‍රසිද්ධ වී නොමැති බව ඔහු පැවසීය.
ජාත්‍යන්තර විශේෂඥයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් 194 අතර අද දිනයේ මෙම අධ්‍යයන වාර්තාව පිළිබඳ සාකච්ඡාවක් පවත්වන බවත්, එම වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙබ් අඩවියේ පළ කරන බවත් ඔහු පැවසීය.
"අපි වාර්තාව කියවා එහි අන්තර්ගතය අවබෝධ කරගෙන සාමාජික රටවල් සමඟ සාකච්ඡා කරනවා" යනුවෙන් ටෙඩ්රොස් පැවසීය. "වාර්තාව පිළිබඳ වැඩිදුර සමාලෝචන හා අවබෝධයෙන් පසුව මට තවත් බොහෝ දේ කියන්නට තිබෙනවා. නමුත් දැනට සියලු උපකල්පනයන් මේසය මත ඇති අතර, වැඩිදුර අධ්‍යයනයක් ඊට අවශ්‍ය වෙනවා."
එමෙන්ම ඔවුන්ගේ සොයාගැනීම් සාකච්ඡා කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥයන් අද (30දා) මාධ්‍ය හමුවක් පවත්වන බවද ටෙඩ්රොස් පැවසීය.
කොරෝනා වෛරසයේ මූලාරම්භය පිළිබඳ ගෝලීය විද්‍යාත්මක පර්යේෂණවල කොටසක් ලෙස, චීන විශේෂඥයන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් ජනවාරි 14 සිට පෙබරවාරි 10 දක්වා මධ්‍යම චීනයේ හුබෙයි පළාතේ වූහාන් හි එක්ව අධ්‍යයන කටයුතුවල නිරත විය.