පොලිස් අත්අඩංගුවේදී පසුගිය සඳුදා මරණයට පත් නිරායුධ කළු ජාතිකයා මුල්කර ගනිමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ මින්නෙපොලිස් හිදී ආරම්භ වූ විරෝධතා මේ වනවිට රටපුරා උත්සන්න වෙමින් ප්‍රාන්ත රැසක ප්‍රචණ්ඩකාරී අයුරින් සිදුවන බව විදෙස් වාර්තා පවසයි.
මේ අනුව තත්ත්වය පාලනය කිරීම සඳහා බොහෝ ප්‍රාන්තවල ආණ්ඩුකාරවරුන් විසින් ආරක්ෂක අංශ සාමාජිකයන් කැඳවා ඇති අතර, ගිනි ගැනීම් පාලනයට ගිනි නිවන හමුදාවනද කැඳවා තිබේ.
කෙසේ වෙතත් ඇමෙරිකාව කොවිඩ්-19 වසංගතය හමුවේ එය පාලනය කරගැනීමට නොහැකිව දක්වා ඇති දැවන්ත දේශපාලනමය, ආර්ථිකමය හා සාමාජීය පසුබෑමද මෙම විරෝධතා උත්සන්න වීමට හේතු වී ඇත.
මෙසේ පොලිස් අත්අඩංගුවේදී මරණයට පත්වූ 46 හැවිරිදි ජෝර්ජ් ෆ්ලොයිඩ් කළු ජාතිකයෙකි. මෙම උද්ඝෝෂණ පිළිබඳ කිපුණු ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ මැරයන් පාරට බැස ජෝර්ජ් ෆ්ලොයිඩ් පිළිබඳ මතකයට අපහාස කරන බවය.
ට්‍රම්ප් එසේ කීවත් කළු ජාතිකයන්ට මේ මොහොතේ විඳින්නට සිදුව ඇති හිරිහැර වඩාත් තීව්ර වූ අවස්ථාවක් ලෙස ෆ්ලොයිඩ්ගේ මරණය සැලකෙයි. බිම වැටී සිටින ෆ්ලොයිඩ්ගේ ගෙල සුදු ජාතික පොලිස් නිලධාරියෙකු විසින් දණ හිසින් සිර කරගෙන සිටින විට ඔහු "මට හුස්ම ගන්න බෑ.. මාව මරන්න එපා..." යැයි පවසන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වීම මෙම විරෝධතා අතිශය උණුසුම්කාරී ස්වරූපයක් ගැනීමට හේතු වී ඇත.
මෙම කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් මින්නෙපොලිස් නගරාධිපති ජේකබ් ෆ්රේ මෙම මරණය හෙළා දකිමින් කළු ජාතිකයෙකු වීම මරණ දඬුවමක් ලැබීමට හේතුවත් නොවන බව කියා තිබූ අතර, අදාළ සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු සේවයෙන් නෙරපා තිබුණි.
නමුත් ජෝර්ජ්ට අත්වූ ඉරණමත් සමග 2014 වසරේ නිව්යෝක් නගරයේදී පොලීසිය එරික් ගාර්නර්ගේ ගෙළ සිරකොට මරා දැමූ සිද්ධියද කළු ජාතිකයන් අතර යළිත් රාව ප්රතිරාව දීමට පටන් ගෙන ඇත.
එසේම කොවිඩ්-19 වසංගතයෙන් මියයන බහුතරය කළු ජාතිකයන් වීමද මෙහිදී විශේෂත්වයක් වී ඇති අතර, රැකියා අහිමි වී අන්ත අසරණ තත්ත්වයට පත්ව ඇති බොහෝ දෙනෙකුද කළු ජාතිකයන්ටය. මහා ප්රජාතන්ත්රවාදයක් පිළිබඳ නිතර පාරම්බාන ඇමෙරිකාවේ සුළු ජනකොටස්වලට සලකන ආකාරය පිළිබඳ දැඩි විවේචනයක් එල්ල වෙමින් පවතී.
මුලින්ම මින්නෙපොලිස් හි ඇති වූ උද්ඝෝෂණවලදී පොලිස් ස්ථානයට ගල්මුල්වලින් පහරදීම, පොලිස් වාහන මත පින්තාරු කිරීම් සිදුවූ අතර මෙහිදී පොලීසිය කඳුළු ගෑස්, මිනිසුන් අපහසුවට ලක්කරන ශබ්ද බෝම්බ මෙන්ම පයිප්ප පිරිසිදු කිරීම සඳහා යොදන සැර රසායන දියර යොදා ගනිමින් විරෝධතාකරුවන්ට ප්‍රහාර එල්ල කර තිබේ.
ඒ අනුව උද්ඝෝෂණ ව්‍යාපාරය වඩාත් උණුසුම් ස්වරූපයක් ගත් අතර වාහන ගිනි තබමින් උද්ඝෝෂකයන් රැසක් උද්ඝෝෂණයන්ට සම්බන්ධ වූහ විරෝධතාරුවන් කියා සිටියේ ඔවුන් විසින්ම මේ උද්ඝෝෂණය ව්‍යාපාරය නිර්මාණය කර ඇති බවයි.
විශේෂයෙන්ම මේ වනවිට ඇමෙරිකාව පුරා උද්ඝෝෂණ ව්‍යාපාරය ඔඩුදුවා ඇති අතර, නිව්යෝක් නගරයේ ස්ථාන රැසකද ගිනි ගැනීම්, ප්රචණ්ඩ හැසිරීම් දැකිය හැකි වූ අතර, බොහෝ කළු ජාතිකයන් පොලිස් අත්අඩංගුවට පත්වන දසුන්ද මාධ්‍ය ඔස්සේ දැකගත හැකි විය.
කොවිඩ්-19 වසංගතය හමුවේ ලෝකයේ මහා ඛේදවාචකයක් බවට ඇති ඇමෙරිකාව තුළ මිනිසුන්ගේ මානසික බිඳ වැටීම සහ රටේ අරාජික ස්වරූපයද මෙම උද්ඝෝෂණ හරහා පිළිබිඹු වන බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.