කොවිඩ්-19 වසංගතය හේතුවෙන් දුගී රටවල සෞඛ්‍ය සේවා පද්ධතියට බාධා ඇතිවීම නිසා ප්‍රතිකාර නොලද ලක්ෂ සංඛ්‍යාත ජනතාව ක්ෂය රෝගයෙන් සහ ඒඩ්ස් රෝගයෙන් මියයන බව ගෝලීය ආධාර අරමුදල පවසයි.
ලොව දුප්පත්ම රටවල් කිහිපයක ඒඩ්ස් හා ක්ෂය රෝගයෙන් (ටීබී) අධික ලෙස මිය යාම කොරෝනා වෛරසයෙන් සිදුවන මරණ පවා ඉක්මවා යා හැකි බව ගෝලීය අරමුදල ලෙස හැඳින්වෙන ජිනීවා පදනම් කරගත් ආධාර ආයතනයේ ප්‍රධානියා අවධාරණය කරයි.
2020 සඳහා වූ අරමුදලේ වාර්ෂික වාර්තාව නිකුත් කර ඇති අතර, එය පෙන්නුම් කරන පරිදි එම වැඩසටහන් ක්‍රියාත්මක වන රටවල ඖෂධවලට ඔරොත්තු දෙන ක්ෂය රෝගය සඳහා ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 19%කින් පහත වැටී ඇත. එසේම එච්.අයි.වී. ඒඩ්ස් වැළැක්වීමේ වැඩසටහන් සහ සේවාවන්හි රෝගීන්ගේ 11%ක පහත වැටීමක් වාර්තා වී තිබේ.
2019 වසරට වඩා 2020 දී ක්ෂය රෝගයට ප්‍රතිකාර ලැබූ පිරිස මිලියනයකට වඩා අඩු බවත්, එයින් අනිවාර්යයෙන්ම ලක්ෂ ගණනක් මිනිසුන් මියගොස් ඇතැයි කියා තමා බියට පත්වන සිටින බවත් ගෝලීය ආධාර අරමුදලේ විධායක අධ්‍යක්ෂක පීටර් සැන්ඩ්ස් පැවසීය.
නිශ්චිත මරණ සංඛ්‍යාව තවමත් නොදන්නා අතර, අප්‍රිකාවේ සහෙල් කලාපයේ සමහර දුප්පත් රටවලට, ක්ෂය රෝගය හෝ ඒඩ්ස් වැනි රෝගවලට එරෙහි සටනේදී සිදුවූ අතිරික්ත මරණ කොවිඩ්-19ට වඩා වැඩිවිය හැකි බව සෑන්ඩ්ස් පැවසීය.
ජිනීවා පදනම් කරගත් ගෝලීය අරමුදල යනු ක්ෂය රෝගය, මැලේරියාව සහ ඒඩ්ස් රෝගයට එරෙහිව සටන් කිරීම සඳහා වසරකට ඩොලර් බිලියන 4කට වඩා ආයෝජනය කරන රජයන්, සිවිල් සමාජය සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන්ගේ එකතුවකි. එක්සත් ජනපදය එහි ඉහළම ආධාරකරු ලෙස ක්‍රියා කරයි.
සැන්ඩ්ස් පැවසුවේ කොවිඩ්-19 අගුලු දැමීමෙන් සේවාවන්ට බලපෑම් ඇති වූ අතර සාමාන්‍යයෙන් ක්ෂය රෝගය සඳහා භාවිත කරන සායන, කාර්ය මණ්ඩලය සහ රෝග විනිශ්චය වෙනුවට ඉන්දියාව සහ අප්‍රිකාව පුරා රටවල් එම පහසුකම් කොවඩ්-19 සඳහා යෙදවූ බවයි. ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් මේ වසරේදී තවදුරටත් බාධා බලාපොරොත්තු වන බව ඔහු අනතුරු ඇඟවීය.
කොවිඩ්-19 සමග සටන් කිරීමේ සාර්ථකත්වය මැනීමට කොවිඩ්-19 නිසා සිදු වූ මරණ අඩු වීමෙන් පමණක් සිදුකළ නොහැකි බවත්, සෙසු රෝග සඳහා ප්‍රතිකාර අඩුවීම නිසා සිදුවූ බලපෑම දෙසද කොවිඩ්-19 හි සමස්ත බලපෑම සැලකීමේදී වැඩි අවධානයක් යොමුකළ යුතු බවත් හෙතෙම සඳහන් කළේය.