එක්සත් රාජධානියේ 90 හැවිරිදි මාග්‍රට් කීනන් මේ සතිය මුලදී ලොව ප්‍රථම සායනිකව බලයලත් සහ පරීක්ෂා කරන ලද කොවිඩ් -19 එන්නත ලබා ගත්විට, කොවිඩ්-19 වසංගතයේ අවසානය පිළිබඳ බොහෝ දෙනෙකු තුළ බලාපොරොත්තු දැල්විණි.
දුෂ්කර මාස ගණනක් ඉදිරියෙන් සිටියද, පළමු එන්නත වාර්තාගත වේලාවට ලබාදීම සහ අනෙක් අය විසින් අනුමත කිරීම බොහෝවිට එන්නත් ලබාගත හැකි ධනවත් රටවල් ලැබූ සන්ධිස්ථානයකි.
නමුත් සංවර්ධනය වෙමින් පවතින හා දුගී රටවල මහජන සෞඛ්‍ය අංශවලට නම්, මෙම මාරාන්තික වසංගතය අවසන් කිරීමේ තරගයට තවදුරටත් මුහුණ දීමට සිදුව ඇත්තේ ලෝකයේ ඇති නැති පරතරය මොනවාට පිළිබිඹු කරමිනි.
කොවිඩ්-19 එන්නත ගබඩා කිරීම සඳහා පහසුකම් නොමැති වීමත්, ධනවත් රටවලින් පොරොන්දු වූ එන්නත් මෙතෙක් නොලැබීමත් නිසා, එන්නත් වෙනුවෙන් ලොව ධනවත් රටවල් සරුවට මුදල් වීසි කරන ආකාරය බලා සිටින ලොව දුගී රටවල්, අසමානතාව පිළිබඳ කටුක අත්දැකීම් සමග ගෝලීය සහයෝගීතාව නමැති නරුම හැඟීම දෙස දෑස් අයා බලා සිටියි.
ධනවත් රටවල් කිහිපයක් සහ කලාපයන් විසින් ඔවුන්ගේ මුළු ජනගහනයටත් වඩා වැඩි ප්‍රමාණයක් ආවරණය කළ හැකි එන්නත් කලින්ම ඇණවුම් කර ඇත. ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සහ ඔක්ස්ෆෑම් ඇතුළත් අන්තර්ජාතික එන්නත් නිරීක්ෂණ කණ්ඩායමක් වන පීපල්ස් වැක්සීන් එලායන්ස් පසුගිය සතියේ කියා සිටියේ ධනවත් රටවල් තම ජනගහනයට තුන් ගුණයකින් ප්‍රතිශක්තිකරණය ලබාදීම සඳහා ප්‍රමාණවත් කොවිඩ්-19 එන්නත් මාත්‍රාවක් මිලදී ගෙන ඇති බවය.
කැනේඩියානු රජය පමණක් තම පුරවැසියන්ට පස් වතාවක් හෝ හය වතාවක් එන්නත් කිරීම සඳහා ප්‍රමාණවත් එන්නත් ඇණවුම් කර ඇති බවද අනාවරණය වෙයි. පීපල්ස් වැක්සීන් එලායන්ස් සන්ධානයේ දත්තවලට අනුව ලෝකයේ ධනවත්ම රටවල් එන්නත් ගනුදෙනු දැනටමත් ඩැහැගෙන ඇති අතර, දුප්පත් රටවල් 70 කට ආසන්න සංඛ්‍යාවකට 2021 කාලය තුළ පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට පමණක් එන්නතක් ලබාගත හැකි වනු ඇති බව වැඩිදුරටත් පවසයි.