ලෝක සෞඛ්‍ය සංවිධානයේ COVAX එන්නත වැඩසටහනේ ප්‍රධාන සැපයුම්කරුවෙකු වන ඉන්දියාව, එරට තුළ ඉහළ යන ආසාදන පාලනය සඳහා ප්‍රමුඛත්වය දීමට තීරණය කිරීමත් සමග එන්නත් සැපයුම අඩාල වීමෙන් පසුව වඩාත් අවදානමට ලක්විය හැකි දිළිඳු රාජ්‍යයන් 20ක් වෙත කොවිඩ්-19 එන්නත් ලබාදෙන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ධනවත් රාජ්‍යයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
වැඩිහිටියන් එන්නත් කිරීම සඳහා වහාම මාත්‍රාවන් මිලියන 10ක් අවශ්‍ය බව ගාවි එන්නත් සන්ධානය සමග ක්‍රියාත්මක වන COVAX වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රයිසස් පැවසීය.
"COVAX එන්නත් ලබාදීමට සූදානම් නමුත් අපට නොමැති එන්නත් ලබාදිය නොහැකියි. ද්විපාර්ශ්වික ගනුදෙනු, අපනයන තහනම, එන්නත් ජාතිකවාදය සහ එන්නත් රාජ්‍ය තාන්ත්‍රිකභාවය හේතුවෙන් සැපයුම හා ඉල්ලුමේ බරපතල අසමානතාවන් සමග වෙළෙඳ පොළේ දැඩි විකෘතිතා ඇතිවී තිබෙනවා" ගෙබ්‍රයිසස් පැවසීය. "මාත්‍රා මිලියන දහයක් එතරම් ප්‍රමාණයක් නොවුණත්, ඇත්තටම එයත් අපට ප්‍රමාණවත් වන්නේ නැහැ"
ලොව විශාලතම එන්නත නිපදවන ඉන්දියාව සිකුරාදා කියා සිටියේ දේශීය එන්නත් කිරීම ප්‍රමුඛතාවක් බවට පත් කරන බවයි. ඇස්ට්‍රාසෙනෙකා හි එන්නත් කාණ්ඩයක් ඉන්දියාවේ සේරම් ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන බැවින් මෙම පියවර COVAX සැපයුම් සඳහා දැඩි බලපෑමක් සිදුකර ඇත.
එහිදී සේරම් ආයතනය මෙතෙක් අපනයනය කිරීම පිළිබඳව ටෙඩ්රොස් ස්තූතිය පුද කළ අතර, ඉන්දියාවේ ආසාදන වැඩිවීම සැලකිල්ලට ගෙන ගනු ලැබූ මෙම පියවර තේරුම්ගත හැකි බවද පැවසීය.
කෙසේ වෙතත් දේශීය හා ජාත්‍යන්තර අවශ්‍යතා අතර සමතුලිතතාවක් ඇති කර ගැනීම සඳහා ඉන්දියාව සමග සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව ඔහු පැවසීය.
මේ වනවිට COVAX විසින් රටවල් 61ක් සඳහා එන්නත් මාත්‍රා මිලියන 32ක් ලබාදී ඇති නමුත් රටවල් 36ක් එන්නත් ලබාගැනීම සඳහා බලා සිටියි.