සිංගප්පූරුවේ සංක්‍රමණික සේවකයෙකු වන රුබෙල් 28 හැවිරිදි අයෙකි. ඔහු සහ අනෙකුත් විදේශීය ශ්‍රමිකයන් වාසය කරන නේවාසිකාගාරය අගුළු දමා ඇති අතර, රට තුළ වේගයෙන් පැතිර යන කොවිඩ්-19 වෛරසය පාලනය කිරීමට එරට රජය දැඩි ප්රයත්නයක නිරත වන බැවින් කිසිවෙකුට ඇතුළට හෝ පිටතට යාමට අවසර නැත.
සිංගප්පූරුවේ සිදුවන්නේ කුමක්ද?
මෑත දින කිහිපයේදී ආසියාවේ ඉතා කුඩාම රාජ්‍යයක් මෙන්ම, වඩාත් දියුණුම රාජ්‍යයක්වූ සිංගප්පූරුවේ කොවිඩ්-19 ආසාදිතයන් විශාල ලෙස ඉහළ ගොස් ඇත. මීට මූලිකවම හේතු වී ඇත්තේ එරට සිටින විදේශීය සේවක නේවාසිකාගාරවල පොකුරු වශයෙන් ආසාදිතයන් හමුවීම හා තවත් නව සිද්ධීන් වාර්තා වීමය. ඒ අනුව පැතිරීම පාලනය කිරීම සඳහා රජය විසින් මෙම නේවාසිකාගාර හුදකලා කිරීමට, සේවකයන් පරීක්ෂා කිරීමට සහ රෝග ලක්ෂණ සහිත රෝගීන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගෙන යාම ආරම්භ කර ඇත.
කෙසේ වෙතත් මෙම ක්‍රියාදාමය තුළ එරට සිටින ලක්ෂ සංඛ්‍යාත විදෙස් කම්කරුවන් සිය නේවාසිකාගාරවල සිරවී සිටින අතර, සමාජ දුරස්ථතාව කළ නොහැකි අවුල් සහගත තත්ත්වයන් යටතේ ඔවුන් දැඩි පීඩාවක් යටතේ දිවි ගෙවන බව වාර්තා වෙයි.
දකුණු හා අග්නිදිග ආසියාවෙන් විශාල වශයෙන් පැමිණෙන සංක්‍රමණික කම්කරුවන් මිලියන 1.4ක් පමණ සිංගප්පූරුවේ වාසය කරති. ගෘහ සේවක සේවිකාවන්, ඉදිකිරීම් කම්කරුවන් සහ අත්උදව්කරුවන් වශයෙන් මෙම සංක්‍රමණිකයින් සිංගප්පූරුවේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම සඳහා අත්‍යවශ්‍ය පිරිසකි. නමුත් නගරයේ අඩුම වැටුප් ලබන හා වඩාත්ම අවදානමට ලක්විය හැකි පුද්ගල පිරිසද මොවුන්ය.
මෙය සංක්‍රමණික සේවකයන්ට බලපාන්නේ කෙසේද?
අප මුලින් සඳහන් කළ රුබෙල් මීට වසර හයකට පෙර බංග්ලාදේශයේ සිට සිංගප්පූරුවට පැමිණියේ ඉදිකිරීම් කටයුතු සඳහා සහ ඔහුගේ පවුල වෙනුවෙන් වැඩිපුර මුදල් උපයා ගැනීමටය. දැන් ඔහුගේ සෞඛ්‍යය හා ආරක්ෂාව අවදානමට ලක්ව ඇති හෙයින්, ඔහු මත යැපෙන අය ගැන ඔහු කනස්සල්ලට පත්ව සිටියි.
"මම මේ වෛරසයට බයයි. මොකද බැරිවෙලාවත් මට එය වැළඳුණොත් මට මගේ පවුලේ අය රැකබලා ගැනීමට නොහැකි වෙනවා." ඔහු කියයි.
කොරෝනා වෛරස් වසංගතයේ පළමු මාස තුන තුළ සිංගප්පූරුව ප්‍රතිචාර දැක්වීම සහ ආන්තික ක්‍රියාමාර්ග නොගෙන ආසාදනය වීම මර්ධනය කිරීමට දැක්වූ හැකියාව ලොව පුරා ප්‍රශංසාවට ලක්විය.
නමුත් එක්වරම අප්‍රේල් මාසය ආරම්භයත් සමග සිංගප්පූරුව මේ තත්ත්වයෙන් ගිලිහී ගිය අතර, රෝගීන්ගේ වැඩිවීම ශීඝ්‍ර වර්ධනයක් පෙන්වීය. විශේෂයෙන්ම පොකුරු වශයෙන් ආසාදිතයන් හමුවීම සහ සමාජ දුරස්ථභාවය නොපවතින සේවක මහල් නිවාස මීට ප්‍රධාන සාධකයක් විය.
එනම්, ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව, මාර්තු 17දා සිට සිංගප්පූරුවේ මුළු රෝගීන් සංඛ්‍යාව 266 සිට 12,075ක් දක්වා වර්ධනය වී තිබේ.
ඒ අනුව වඩාත් හොඳ සෞඛ්‍ය පද්ධතියක් මෙන්ම වඩාත් හොඳ කළමනාකරීත්වයක් මෙන්ම විනයක්ද සහිත සිංගප්පූරුව තුළ ඇති වූ මෙම තත්ත්වය ශ්‍රී ලංකාව ඇතුළු ලොව සෙසු රටවලද අවධානයට ලක්විය යුතු තත්ත්වයකි.