නව කොරෝනා වෛරසය ආසාදනය වූවන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 400,000 සීමාවට වේගයෙන් ළඟාවෙමින් සිටින අතර, එය 383,944ක් බවත්, ආසාදිත මරණ සංඛ්‍යාව 16,595ක් බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සංඛ්‍යාලේඛන හා අතිරේක මූලාශ්‍ර ඇසුරෙන් ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය පවසයි.
මේ අතර, ජාත්‍යන්තර ඔලිම්පික් ක්‍රීඩා උළෙල වසරකින් කල් දැමීමට තීරණය කළ බව ජපාන අගමැති ෂින්සෝ අබේ අද නිවේදනය කළේය. මේ අතර ලෝකයේ රාජ්‍යයන් රැසක් ඒ වනවිටත් මෙවර ඔලිම්පික් උළෙල සඳහා තම රාජ්‍යයන්හි ක්‍රීඩකයන් සහභාගී නොකරන බව දැනුම්දී තිබුණි.
නව කොරෝනා වෛරසයේ අපිකේන්ද්‍රය ලෙස සැලකුණු චීනයේ හුබෙයි පළාතෙන් මේ වනවිට නව කොරෝනා ආසාදිතයන් වාර්තා නොවීම නිසා එම පළාත බදාදා දිනයේ සිට ජනතාවට සම්පූර්ණයෙන් විවෘත කිරීම සූදානම් වෙයි. කෙසේ වෙතත් එහි වූහාන් අගනුවරට පනවා ඇති සීමාවන් එලැඹෙන අප්‍රේල් 08දා දක්වා තවදුරටත් ක්‍රියාත්මක වන බව කියයි.
ජනගහනයෙන් තුනෙන් දෙකක් පමණ ආවරණය වන පරිදි ඉන්දියාව සිය ජනතා ඇඳරි නීතිය තවදුරටත් පුළුල් කරනු ලැබීය. එමෙන්ම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පාකිස්තානය සිය හමුදා සීරුවෙන් තබා ඇත. ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයක් සිය දේශසීමා මුරපොළවල් ක්‍රියාත්මක කර ඇත. ඇල්බේනියාව දිනකට පැය 16ක දැඩි ඇඳිරි නීතිය පනවා තිබේ. යුරෝපයේ ප්‍රධාන භූමියේ රාජ්‍යයන් කිහිපයක්ම මේ වනවිටත් වසාදමා ඇති අතර එක්සත් රාජධානිය විසින් ඉතා සීමිත හේතු හැරෙන්නට ජනතාවට නිවසින් පිටවීම තහනම් කර ඇත.
එක්සත් ජනපදයේ අවම වශයෙන් ප්‍රාන්ත 16කවත් ජනතාවට නිවසේ රැඳී සිටීමේ නියෝග නිකුත් කර ඇති අතර, එය මිලියන 142ක ජනතාවකට හෝ එක්සත් ජනපද ජනගහනයෙන් 43%කට බලපානු ඇත. එක්සත් ජනපදය තුළ මේ වනවිට නව කොරෝනා ආසාදිත මරණ 540ක් වාර්තා වී ඇති අතර, ආසාදිත ප්‍රමාණය 42,600කට අධික වී ඇත. එමෙන්ම හවායි හි පළමු කොරෝනා මරණය වාර්තා වේ. නිව්යෝක් නගරය එක්සත් ජනපදයේ වැඩිම අවදානමට ලක්ව ඇති ප්‍රාන්තය බවට පත්ව ඇත.
නව කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් මූල්‍ය ආධාර ඉල්ලා මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ රටවල් රැසක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලීම් කර තිබේ. සිරකරුවන් 85,000ක් තාවකාලිකව නිදහස් කිරීමට ඉරානය කටයුතු කර ඇත.
ආසියාව තුළ නව කොරෝනා ආසාදිතයන් සැලකීමේදී තායිලන්තයේ තවත් මරණ 3ක් සහ නව රෝගීන් 106ක් වාර්තා වී ඇති අතර, සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 827කි. ඒ අනුව හදිසි පියවර ගැනීම පිළිබඳව තායිලන්ත නිලධාරීන් සාකච්ඡා කරමින් සිටියි. වෛරසය පැතිරීම ආරම්භ වූ දා සිට සිංගප්පූරුවේ දිනක් තුළ වැඩිම රෝගීන් ගණන වාර්තා විය. ටෝකියෝ ආණ්ඩුකාරවරයා අනතුරු ඇඟවූයේ ආසාදිත පිරිස වැඩි වුවහොත් ජපානයේ අගනුවර වසා දැමීමට සිදුවන බවය. මියන්මාරය සහ ලාඕසය ඔවුන්ගේ ප්‍රථම කොවිඩ්-19 ආසාදිත සිදුවීම් වාර්තා කළේය. චීනයේ බීජිං නුවර වෙත සියලු අන්තර්ජාතික පැමිණීම් නිරෝධායනයට ලක්කර පරීක්ෂා කරන අතර, මැකාවෝ වෙත අනේවාසිකයන්ට අතුළුවීම තහනම් කර ඇත.