ඇමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ හඳුනාගෙන ඇති නව කොරෝනා වෛරස ප්‍රභේදය පිළිබඳව විද්‍යාඥයන්ගේ අවධානය යොමු වී තිබේ.
වෛරස විද්‍යාඥයන් විසින් B.1.427 / B.1.429 ලෙස හඳුන්වන ප්‍රභේදය වඩාත් බෝවන රෝගයක් පමණක් නොව, වඩාත් දරුණු රෝග ඇති කිරීමටද ඉඩ ඇති ප්‍රභේදයක් බව මූලිකව හඳුනාගෙන ඇත.
කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් මෑතකදී ප්‍රාන්තය පුරා පැතිර ගිය වෛරස සාම්පල පරීක්ෂා කළ අතර, ඒ අනුව මෙම නව ප්‍රභේදය වඩාත් සුලභ වෙමින් පවතින බව සොයා ගෙන තිබේ. එය සැප්තැම්බර් මාසයේ සිට කිසිදු සාම්පලයක දක්නට නොලැබුණු නමුත් ජනවාරි අග වනවිට ඒවායින් අඩක සොයා ගෙන ඇත.
විද්‍යාඥයන් පවසන්නේ එක්සත් රාජධානියේ සහ දකුණු අප්‍රිකාවේ මුලින් දුටු ප්රභේදයන්ට වඩා වෙනස් ප්‍රභේදයක්, විකෘති රටාවක් මෙහි ඇති බවයි. එහි එක් විකෘතියක් වෛරසයේ ස්පයික් ප්‍රෝටීනවලට බලපාන අතර, එය වෛරසය ආසාදනය වන සෛලවලට සම්බන්ධ වේ. විශ්වවිද්‍යාලයේ සායනික ක්ෂුද්රජීව විද්‍යාගාරයේ සහකාර අධ්යක්ෂ වෛද්‍ය චාල්ස් චියූ පැවසුවේ විකෘතිය නිසා වෛරසය සෛලවලට සම්බන්ධ වීම වඩාත් කාර්යක්ෂම කරවන අතර, එහි බෝවන තත්ත්වය ඉහළ නංවනු ඇති බවයි.
එය වඩාත් භයානක බවට චියූගේ කණ්ඩායම සාක්ෂි සොයාගෙන තිබේ. ඒ අනුව මෙම වෛරසය ආසාදනය වීමේදී ඔක්සිජන් අවශ්‍යතාව වැඩි වීමේ අවදානම ඇතුළුව නව ප්‍රභේදය හා සම්බන්ධ බරපතල රෝගී තත්ත්වයන් ඇති කිරීමේ හැකියාව නිරීක්ෂණය කළ බව විද්‍යාඥයන් පවසයි. සැන් ෆ්රැන්සිස්කෝ හි මහජන සෞඛ්‍ය නිලධාරීන් එය සමාලෝචනය කිරීමෙන් පසුව ඔවුන්ගේ වාර්තාව මෙම සතිය අගදී ලැබෙනු ඇති බවද කියයි.
වර්තමානයේදී ඇමෙරිකා එක්සත් ජනපදය පුරා ආසාදන අඩුවෙමින් පවතින අතර, වැඩි පිරිසකට එන්නත් ලබා දී ඇතත්, මෙවැනි නව ප්රභේදයන් එක්සත් ජනපදයේ ඉදිරි සතිවලදී සංකූලතා ඉහළ නැංවිය හැකි බවට අනතුරු ඇඟවීම් ලැබී තිබේ. එහිදී මෙම නව ප්‍රභේද එන්නත් ඉක්මවා යනු ඇතැයි මහජන සෞඛ්‍ය විශේෂඥයෝ බිය පළ කරති. මේ නිසා බොහෝ දෙනෙක් මුඛ ආවරණ පැලඳීම, නිතර අත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම සහ ජනාකීර්ණ ප්‍රදේශවලින් වැළකී සිටීම වැනි ආරක්ෂක පියවරයන් දෙගුණ කිරීමේ අවශ්‍යතාව ඔවුන් අවධාරණය කර ඇත.