මැඩගස්කරයේ පාසල් ළමයින් සඳහා ඇ.ඩො.මිලියන 2කට වැඩි වටිනාකමකින් යුතු ලොලිපොප් ඇණවුම් කිරීමට සැලසුම් කළ එරට අධ්‍යාපන ඇමතිවරයා ධුරයෙන් පහ කර තිබේ.
නව කොරෝනා වෛරසය සඳහා මෙතෙක් තහවුරු නොකළ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු විශේෂඥයන් විසින් ප්‍රතික්ෂේප කළ ඖෂධීය පිළියමක් ආහාරයට ගැනීමෙන් පසු කටුක රසයක් ඇති කරන මෙම ලොලිපොප් තුනක් දරුවන්ට දීමට අදහස් කළ බව ධුරයෙන් ඉවත් කළ අධ්‍යාපන අමාත්‍ය රිජසෝවා ඇන්ඩ්රියාමානනා පවසා තිබේ. කෙසේ වෙතත් මැඩගස්කරයේ ජනාධිපතිවරයාගේ විරෝධය මත මෙම සැලැස්ම අත්හිටුවා ඇත.
කෙසේ වෙතත් මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩ්‍රි රාජොලිනාද නව කොරෝනා වෛරසය සඳහා අත් බෙහෙත් ප්‍රවර්ධනය කර ඇති අතර, ඖෂධීය කොවිඩ්-ඕගනික්ස් පැණි බීම ඒ සඳහා සුදුසු බව ඔහු පවසා තිබේ.
අප්‍රිකානු රටවල් කිහිපයක් කෝවිඩ්-ඕගනික් පැණිබීම ආනයනය කිරීම දිගටම කරගෙන ගොස් ඇති අතර, එය වෛරසයට එරෙහිව සටන් කිරීමට උපකාරී වනු ඇතැයි ඔවුන් විශ්වාස කර ඇත. නමුත් මෙතෙක් වෛද්‍ය විද්‍යාත්මක තහවුරු නොකළ මෙවැනි දේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.
එසේම මැඩගස්කරයේ ජාතික වෛද්‍ය ඇකඩමියද මෙම පැණිබිම පානයෙහි කාර්යක්ෂමතාව පිළිබඳව සැක පහළ කර ඇති අතර එය ජනතාවගේ සෞඛ්‍යයට හානි කිරීමේ දැඩි හැකියාවක් ඇති බව පවසා තිබේ.