කාම්බෝජයේ සිදුවූ රිය අනතුරකින් කාම්බෝජ කුමාරයෙකු සහ හිටපු අගමැතිවරයෙකු වූ නොරෝදොම් රානාරීද්හ් කුමරු තුවාල ලබා ඔහුගේ තරුණ බිරිඳ ජීවිතක්ෂයට පත්ව තිබේ.
කුමරු සහ බිරිඳ ගමන් කළ මෝටර් රථය සහ ටැක්සි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම මාරක රිය අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
තුවාල ලැබූ රානාරීද්හ් කුමරු 74 වැනි වියෙහි පසුවන අතර, මියගිය ඔවුක් ෆාලා කුමරිය 39 වැනි වියෙහි පසුවෙයි.
ප්රේහ් සිහානූක් පළාතේ ප්රාදේශීය රෝහලකට ඔවුන් දෙදෙනා වහාම ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණත්, රෝහල්ගත කර පැය කිහිපයකින් කුමරිය ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි.
කුමරු සිය දේශපාලන හිතවතුන් පිරිසක් හමුවීමට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බව විදෙස් වාර්තා පවසයි.
කාම්බෝජයේ නොරෝදොම් සිහාමොනි රජුගේ අඩ සහෝදරයෙකු වන රානාරීද්හ් කුමරු, ලබන මස පැවැත්වෙන විවාදයට තුඩුදුන් මහ මැතිවරණය වෙනුවෙන් දේශපාලන පක්ෂයක නායකත්වය දරන්නෙකි.
රානාරීද්හ් කුමරු හුන් සෙන් සමග එක්ව වර්ෂ 1993 සිට 1997 දක්වා එරට අගමැති ධුරය හොබවා ඇති අතර, වත්මන් අගමැතිවරයා විසින් මෙහෙයවන ලද කුමන්ත්රණයකින් ඔහු බලයෙන් පහ කෙරිණි.
2015 වසරේදී හුන් සෙන් සමගි සන්ධානයක් ඇති කර ගනිමින් රානාරීද්හ් කුමරු යළිත් වරක් දේශපාලනයට පිවිසියේය.