කැනේඩියානු මුස්ලිම් පවුලක සාමාජිකයන් සිව්දෙනෙකු පසුගියදා පිකප් ට්‍රක් රථයකින් හඹා ගොස් යට කරගෙන යෑම එරට ඉස්ලාමීය විරෝධී වෛරී අපරාධයක් බව කැනේඩියානු පොලීසිය පවසයි.
ඔන්ටාරියෝ හි ලන්ඩන් නගරයේ රහස් පොලීසියේ, පොලිස් අධිකාරී පෝල් වේට් වාර්තාකරුවන්ට පැවසුවේ, මෙය සැලසුම් සහගත, කලින් සැලසුම් කළ ක්‍රියාවක් බවට සාක්ෂි පවතින බවයි.
"මෙම වින්දිතයින් ඉලක්ක කර ඇත්තේ ඔවුන් මුස්ලිම් ජාතිකයන් නිසා යැයි විශ්වාස කෙරෙනවා" වේට් පැවසීය.
සැකකරු වන 20 හැවිරිදි නතානියෙල් වෙල්ට්මන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ පිකප් ට්‍රක් රථය පාරෙන් ඉවතට පදවා, පදික වේදිකාවක් මත සිටි මෙම පවුලේ පිරිස යට කරගෙන යමින් වේගයෙන් රිය පැදවූ බව සාක්ෂිකරුවන් උපුටා දක්වමින් පොලිසිය පවසයි.
ඇසින් දුටු සාක්ෂිකරුවෙකු වන පේජ් මාටින් වාර්තාකරුවන්ට කියා සිටියේ කළු පැහැති පිකප් ට්‍රක් රථයක් ඇය පසුකර ගොස් රතු වීදි ආලෝකයද නොසලකා වේගයෙන් ධාවනය වූ බවයි. තමන් ඒ ස්ථානයට පැමිණෙ විට අවුල් ජාලාවක් දුටු බවත්, "එය හරියටම ඔබ කිසි විටෙකත් දැකීමට අකමැති දෙයක් හා සමානයි" යනුවෙන් ඇය පැවසීය.
ටොරොන්ටෝ සිට කි.මී. 200ක් නිරිත දෙසින් ලන්ඩන් නගරයේ පදිංචිකරුවෙකු ලෙස හැඳින්වෙන වෙල්ට්මන් වෙත මිනීමැරුම් චෝදනා හතරක් සහ මිනීමැරීමට තැත් කිරීම යන චෝදනා හතරක් යටතේ නඩු පවරා තිබේ. ඔහු සඳුදා රිමාන්ඩ් භාරයට පත්ව ඇති අතර, පසු බ්‍රහස්පතින්දා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වෙල්ට්මන් නමැති මෙම තරුණයාට අපරාධ වාර්තාවක් නොමැති අතර වෛරී කණ්ඩායමක සාමාජිකයෙකු බවද මෙතෙක් හඳුනාගෙන නොමැති බව පොලීසිය කියයි. හමුදාමය ස්වරූපයේ ඇඳුමකින් සැරසී කිසිවක් සිදු නොවූ ආකාරයෙන් ඔහු සාප්පු සංකීර්ණයක සිටියදී අත්අඩංගුවට ගත් බවත්, මෙම සිද්ධියට තවත් අය ඔහුට සහාය ලබාදී ඇතිද යන්න පිළිබඳ දැනට සාක්ෂියක් නොමැති බවත් පොලීසිය පවසයි.
මෙහිදී ඝාතනයට ලක්වූවන්ගේ නම් පොලීසිය විසින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති නමුත් ලන්ඩන් ෆ්‍රී ප්‍රෙස් පුවත්පත පැවසුවේ මියගිය අය අතර 46 හැවිරිදි සයිඩ් අෆ්සාල්, ඔහුගේ බිරිඳ 44 හැවිරිදි මැඩිහා සල්මාන් සහ ඔවුන්ගේ 15 හැවිරිදි දියණිය යුම්නා අෆ්සාල් යන අය සිටින බවයි. එමෙන්ම සයිඩ්ගේ 74 හැවිරිදි මවද ඒ සමග සිටි බවත්, තහවුරු කර නොමැති තොරතුරුවලින් කියැවේ. කෙසේ වෙතත් ඔවුන්ගේ නව හැවිරිදි පුත් ෆේස් අෆ්සාල් බරපතල නමුත් ජීවිත තර්ජනයක් නොමැතිව තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවද පුවත්පත සඳහන් කර ඇත.
කැනේඩියානු මුස්ලිම්වරුන්ට එරෙහි එරට දරුණුතම ප්‍රහාරය එල්ල වූයේ 2017 වසරේදී ක්විබෙක් නගරයේ මුස්ලිම් පල්ලියක සාමාජිකයන් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියයි.