එන්නත් හිඟයේ උග්‍ර ගැටලුවකට රාජ්‍යයන් මුහුණ දෙමින් සිටින බැවින් කොවිඩ්-19 එන්නත් සඳහා බුද්ධිමය දේපල අයිතිවාසිකම් තාවකාලිකව අත්හරින ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් සහ එක්සත් රාජධානියේ හිටපු අග්‍රාමාත්‍ය ගෝර්ඩන් බ්‍රවුන් ඉල්ලා සිටියහ.
"අපි වැඩිහිටියන්ට බහුතරයක් එන්නත් කිරීමට යන්නේ ප්‍රජා ප්‍රතිශක්තිය ගෙන ඒමට නම්, අපට අවශ්‍ය එන්නත ප්‍රමාණය දැන් ඇති ප්‍රමාණයට වඩා සැලකිය යුතු ලෙස වැඩි විය යුතුයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රොස් පැවසීය.
"නිෂ්පාදන ධාරිතාව ඉහළ යා යුතුයි. බුද්ධිමය දේපල අයිතිය අත්හැරීම ඉතා වැදගත් වන්නේ ඒ නිසයි. ඇත්තටම එය ත්‍යාගයක් ලෙස ලබාදීමක් නොවෙයි. ඊට වඩා එහා ගිය දැඩි අත්‍යවශ්‍ය අවස්ථාවක්" ඔහු සඳහන් කළේය.
කොවිඩ්-19 එන්නත් සඳහා වූ බුද්ධිමය දේපළ අයිතිය තාවකාලිකව අත්හිටුවීම අප්‍රිකාවේ සහ ලෝකයේ වෙනත් රටවල එන්නත් නිෂ්පාදනය සඳහා උපකාරී වේ.
දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් ගෝලීය එන්නත් නිෂ්පාදනයට ඉඩදීම සඳහා කොවිඩ්-19 එන්නත් සඳහා බුදධිමය දේපළ අයිතිය තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා තිබේ. ලෝක වෙළඳ සංවිධානය පසුගිය සතියේ මෙම අත්හැරීම පිළිබඳව සාකච්ඡා කළ නමුත් ජිනීවාහි තවමත් නිශ්චිත නිගමනවලට එලැඹ නැත.
එක්සත් රාජධානිය 2021 දී G7 ජාතීන්ගේ සභාපති ධුරය භාරගෙන ජුනි මාසයේදී G7 රාජ්‍ය නායක සමුළුවේ සත්කාරකත්වය දරන බැවින්, තාවකාලික අත්හැරීම යථාර්ථයක් කර ගන්නා ලෙස ටෙඩ්රොස් සහ බ්‍රවුන් යන දෙදෙනාම G7 වෙතින් ඉල්ලා සිටියහ.
"හැකි ඉක්මනින් නිෂ්පාදනය වැඩි කිරීමට ඇති සියලු විකල්ප භාවිත කළ යුතුයි. සාමූහිකව මේ බුද්ධිමය දේපළ අයිතීන් තාවකාලික අත්හැරීමකට සහාය දෙන බවට තීරණයක් ගත හැකි නම්, එය විශාල පිටිවහලක් වන බව මා විශ්වාස කරනවා" බ්‍රවුන් අවධාරණය කළේය.
මේ අතර, වසංගතයට ප්‍රතිචාර දැක්වීමට රටවලට උපකාර කිරීම සඳහා එන්නත්වල බුද්ධිමය දේපල අයිතිය අත්හැරීම සඳහා ලෝක වෙළඳ සංවිධානය දරණ ප්රයත්නයට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහාය දෙන බව එක්සත් ජනපද වෙළඳ නියෝජිත කැතරින් තායි පැවසීය.
"මෙය ගෝලීය සෞඛ්‍ය අර්බුදයක් වන අතර, කොවිඩ්-19 වසංගතයේ අසාමාන්‍ය තත්ත්වයන් අසාමාන්‍ය ක්‍රියාමාර්ග ඉල්ලා සිටිනවා" තායි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.