ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනපති ජෝ බයිඩන් පරිපාලනය ගෝලීය දේශපාලනයේදී මෙතෙක් ට්‍රම්ප් පරිපාලනය වෙනත් රටවලට එන්නත් අපනයනය කිරීම තහනම් කරමින් ක්‍රියාත්මක කළ 'ඇමෙරිකා ෆස්ට්' මානසිකත්වයක් බිඳ දමනු ඇතැයි ලෝකය අපේක්ෂා කළද, තවමත් එවැනි මානසිකත්වයක්ම ඇමෙරිකාව තුළින් දැකිය හැකි නිසා මෙය ගෝලීය නායකත්වයේ එක්සත් ජනපද භූමිකාව අඩපණ කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
විශේෂයෙන්ම පසුගිය මාර්තු 1දා එක්සත් ජනපද සහ මෙක්සිකෝ ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවති මුණගැසීමෙන් පසුව එක්සත් ජනපද එන්නත් අසල්වැසියා සමග බෙදා ගැනීමේ මෙක්සිකෝවේ යෝජනාව වොෂින්ටනය ප්‍රතික්ෂේප කළේද ඒ 'ඇමෙරිකා ෆස්ට්' මානසිකත්වය නිසා බව කියයි.
ඔවුන්ගේ රැස්වීමට පෙර මෙක්සිකෝ ජනාධිපති ඇන්ඩ්‍රෙස් මැනුවෙල් ලෝපෙස් ඔබ්රඩෝර් වාර්තාකරුවන්ට පැවසුවේ මෙක්සිකෝවේ එන්නත් සැපයුමේ ඇති අඩුපාඩු මඟහරවා ගැනීමට ජනාධිපති ජෝ බයිඩන්ගෙන් ඉල්ලා සිටීමට තමා සැලසුම් කර ඇති බවය.
නමුත් ධවල මන්දිර ප්‍රකාශක ජෙන් සාකි අතථ්‍ය සාකච්ඡාවලට පෙර කියා සිටියේ, සෑම ඇමෙරිකානුවෙකුටම එන්නත ලබාදීම සහතික කිරීම කෙරෙහි පරිපාලනයේ අවධානය යොමු වී ඇති බවත්, එම ඉලක්කය සපුරා ගත් පසු ඉන් ඔබ්බට තවත් පියවර සාකච්ඡා කිරීමට ලැබීම සතුටට කරුණක් බවත්ය.
කෙසේ වෙතත් බලවත් රාජ්‍යයක් ලෙස එක්සත් ජනපදය දැනටමත් සෑම ඇමරිකානුවන් 100කට එන්නත් මාත්‍රා 24ක් ලබා දී තිබුණද, ඊට සාපේක්ෂව ලොව බලවත් රාජ්‍යයන් වන චීනය සිය පදිංචිකරුවන් 100කට මාත්‍රා 3.7ක්ද, රුසියාව මාත්‍රා 2.7ක්ද, ඉන්දියාව 1.1ක්ද ලබාදී ඇත. එහිදී වඩාත් අවදානමට ලක්විය හැකි පුරවැසියන්ට ප්‍රමුඛත්වය දී ඇති චීනය, ඉන්දියාව සහ රුසියාව මේ වනවිටත් මාත්‍රාව මිලියන ගණනක් විදේශගත කිරීම ආරම්භ කර ඇති බව එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.
එන්නත් අපනයන තහනම මගින් එක්සත් ජනපදය කුමන ආකාරයේ සුපිරි බලවතෙකු වීමට අපේක්ෂා කරනවාද යන්නත්, අනෙක් රටවල් කෙරෙහි වඩාත් ත්‍යාගශීලී ආකල්පයක් අනුගමනය කිරීමට බයිඩන් රජය උත්සාහ නොකරන්නේ නම් එක්සත් ජනපදයට ගෝලීය නායකත්වයේ ආධිපත්‍යය නැවත ලබා ගත හැක්කේ කෙසේද යන්නත් ප්‍රශ්නාර්ථයක් බවත් එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දී තිබුණේ, "ආත්මාර්ථකාමී ප්‍රතිපත්ති හෝ දේශපාලනය ඇති කිසිදු රටකට 21 වැනි සියවසේදී ලෝකය මෙහෙයවීමට බලාපොරොත්තු විය නොහැකි." බවද අවධාරණය කරමිනි.