කොවිඩ්-19 වෛරසයට එරෙහි එන්නත් විද නොගත් අය වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්වීමට ඇති හැකියාව 11 ගුණයකින් වැඩි බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) විසින් කරන ලද විශාල අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
එබැවින් කොවිඩ්-19 මර්දන එන්නත් විද ගැනීම මගින් වෛරසය ආසාදනය වීමට, ආසාදනය වී අසාධ්‍යව රෝහල්ගත වීමට මෙන්ම, ඒ හේතුවෙන් මරණයට පත්වීමට එරෙහිව දැඩි ආරක්ෂාවක් ලබාදෙන බව එම ආයතනය අවධාරණය කරයි.
මෙම අධ්‍යයනයේදී පසුගිය අප්‍රේල් සිට ජූලි මැද දක්වා කාලය තුළ ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රාන්ත 13ක වෛරසය ආසාදනය වූවන්, රෝහල්ගතවීම් සහ ආසාදිත මරණ පිළිබඳව සලකා බැලීමට කොවිඩ්-19 රෝගීන් 600,000කට වැඩි සංඛ්‍යාවක් නිරීක්ෂණය කර තිබේ.
එම අධ්‍යයනය තුළදී වැඩිදුරටත් අනාවරණය වී තිබුණේ වෛරසයට එරෙහිව එන්නත් විද නොගත් පුද්ගලයන් එන්නත් විදගත් පුද්ගලයන් සමග සැසඳීමේදී වෛරසය ආසාදනය වීමේ හැකියාව 4.5 ගුණයකින් වැඩි බවයි. එමෙන්ම ඔවුන් රෝහල්ගතවීමට ඇති හැකියාවද 10 ගුණයකටත් වඩා වැඩි බව සොයාගෙන තිබේ.
CDC අධ්යක්ෂ වෛද්‍ය ආචාර්ය රොෂෙල් වැලෙන්ස්කි පැවසුවේ "එන්නත් තවමත් වෛරසයට එරෙහිව ක්‍රියාත්මක වෙනවා. කොවිඩ්-19 හි ඇති දැඩි සංකූලතාවයන්ගෙන් අපව ආරක්ෂා කරනවා" යනුවෙනි.