ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය මැඬපැවැත්වීම සඳහා අවුරුදු 40ට වැඩි පුද්ගලයන් සඳහා ඊශ්‍රායලය සිය බූස්ටර් එන්නත් ලබාදීමේ ව්‍යාපාරය තවත් පුළුල් කිරීමෙන් පසුව, අගමැති නෆ්තලී බෙනට් අද (20දා) ෆයිසර්-බයෝඑන්ටෙක් හි කොවිඩ් -19 එන්නතෙහි තුන්වැනි මාත්‍රාවද ලබාගත්තේය.
ඩෙල්ටා වෛරසය මතුවීමෙන් පසු ඊශ්‍රායලයේ නව ආසාදිතයන් වැඩිවී ඇති අතර, 49 හැවිරිදි අගැමති බෙනට් තුන්වැනි මාත්‍රාද ජනතාවට ලබාදීමෙන් ආර්ථික වශයෙන් වේදනාකාරී ජාතික අගුලු දැමීමක් වළක්වා ගැනීමට උත්සාහ කරමින් සිටියි.
අවම සුදුසුකම් වයස 50 දක්වා අඩු කිරීමට පෙර, 60 ට වැඩි පුද්ගලයන්ට තුන්වැනි බූස්ටර් මාත්‍රාව ජූලි මාසයේදී ලබාදීම ආරම්භ කළේය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් උපුටා දැක්වූයේ ප්‍රතිශක්තිකරණය අඩුවීම සහ ඩෙල්ටාවේ අධික බෝවීමේ හැකියාව නිසා මෙසේ තෙවැනි මාත්‍රාවක් ලබාදෙන බවයි. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශය සිය නිගමන යළි වෙනස් කරමින්, අවම වශයෙන් මාස පහකට පෙර දෙවැනි මාත්‍රාව ලැබූ වයස අවුරුදු 40ට වැඩි සියලු පුද්ගලයන් සඳහා බූස්ටර් මාත්‍රාවක් ලබාදීම දැන් අරඹා තිබේ.
ගුරුවරුන්, සෞඛ්‍ය සේවකයන්, වැඩිහිටියන් රැකබලා ගන්නන් සහ සෑම වයස් කාණ්ඩයකම ගැබිනි මව්වරුන් සඳහා මෙම එන්නත ලබාගත යුතු යැයි එය නිර්දේශ කළේය.
එසේම ආරක්ෂාව ක්‍රමයෙන් අඩුවන බව පෙන්නුම් කරන දත්ත උපුටා දක්වමින් ඇමෙරිකා එක්සත් ජනපදයද සියලුම ඇමෙරිකානුවන්ට බූස්ටර් මාත්‍රාවක් ලබාදීමේ සැලැස්ම නිවේදනය කර තිබේ. එසේම කැනඩාව, ප්‍රංශය සහ ජර්මනියද බූස්ටර් මාත්‍රා ලබාදීම ප්‍රකාශයට පත් කර ඇත.
"ඔබ කඩිනමින් තෙවැනි එන්නත් මාත්‍රාව ලබාගත්තොත්, අපට සිව්වැනි අගුලු දැමීම වළක්වා ගැනීමට පුළුවන්" යැයි බෙනට් සිය එන්නත්කරණය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවීව පෙන්වීමට පෙර පැවසීය. එසේම ඔහු පැවසුවේ බූස්ටර් මාත්‍රාවක් ලබාදීමෙන් ඇතිවන තත්ත්වයන් පිළිබඳ දත්ත ඊශ්‍රායලය ලෝකය සමග හුවමාරු කරගන්නා බවයි.
ඒ අනුව ඊශ්‍රායලයේ මිලියන 9.3ක ජනගහනයෙන් මිලියනයකට වඩා වැඩි පිරිසකට තුන්වැනි එන්නත ලැබී ඇති අතර, බදාදා ඊශ්‍රායල සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු පැවසුවේ ආසාදනය වීම වැළැක්වීම සඳහා එය 86%ක්ම සාර්ථක බවයි.
කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානය බදාදා ප්‍රකාශ කළේ වර්තමාන දත්ත මගින් බූස්ටර් ප්‍රතිශක්තිකරණ වර්ධනයක් අවශ්‍ය නොවන බව පෙන්නුම් කරන බවයි. ඒ අනුව ඉහළ ආදායම් ලබන රටවල් තවත් ප්‍රතිශක්තිකරණය ලබාගැනීමට පෙර ලොව පුරා සිටින වඩාත් අවදානමට ලක්විය හැකි පුද්ගලයන්ට පූර්ණ එන්නත ලබාදීමට කටයුතු කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටියි.