ඉන්දියාවේ කොවිඩ්-19 නවතම රැල්ල වඩාත් දරුණු තත්ත්වයක් ඇති කරමින් තිබෙන අතර, එරට ප්‍රධාන නගරවල රෝහල් කොවිඩ්-19 රෝගීන්ගෙන් පිරී ඉතිරී යන බව වාර්තා වෙයි.
ඒ අනුව ගබඩාවන්, භාවිතයට නොගත් දුම්රිය සහ විශාල පොදු ස්ථාන තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පරිවර්තනය වෙමින් පවතින අතර, නව අගුලු දැමීම් සමග සීමාවන් පිළිබඳ කතාබහ ඇති වී තිබේ.
ඉන්දියාව වඩාත් දරුණු ලෙස සිය දෙවැනි රැල්ලට නතුවී ඇති අතර, මෙවර නව ප්‍රභේද, ජනගහනය අතර තෙහෙට්ටුව සහ දැවැන්ත ආගමික උළෙල කිහිපයක් සිදුවීම, මීට පෙර ඇතිවූ රැල්ලට වඩා තර්ජනය ඉහළ දමනු ඇති බව කියයි.
ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ඊයේ (05දා) රට තුළ නව ආසාදිතයන් 103,558ක් වාර්තා වී ඇති අතර, එය වසංගතය ආරම්භයේ සිට මේ දක්වා වාර්තා වූ ඉහළම අගයයි.
මීට පෙර වාර්තාගත ඉහළම අගය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ අතර පළමු රැල්ලේ උච්චතම අවස්ථාවේදී දෛනිකව ආසාදිතයන් 98,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා විය. පෙබරවාරි මැද භාගය වනවිට දෛනිකව ආසාදිතයන් 9,000ක් දක්වා එම දෛනික ආසාදන 90%කින් පමණ ක්‍රමයෙන් පහත වැටී තිබුණි.
නමුත් මාර්තු මුලදී ඉන්දියාවේ නැවත ආසාදන ඉහළ යාමට පටන් ගෙන ඇති අතර, මාස දෙකකටත් අඩු කාලයකට පසු, දෛනික ආසාදන දස ගුණයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව ඉන්දියාවේ මේ ඇති වූ තත්ත්වය අසල්වාසී රටවලටද වඩාත් සලකා බැලිය යුතු තර්ජනයක් වන අතර, අනවශ්‍ය ජන ඒකරාශීවීම් වැළැක්වීමටත්, මහජන සෞඛ්‍ය පුරුදු දැඩිව බලාත්මක කිරීමටත් දැන් කාලය එලැඹ තිබේ.