ඉන්දියාව විසින් රටේ සමස්ත කොවිඩ්-19 වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 24ක සීමාව පසුකරන විට, අඛණ්ඩව තුන්වැනි දිනටත් රට තුළ දෛනිකව වාර්තා වූ මරණ සංඛයාව 4,000ක් ඉක්මවා ගොස් තිබේ.
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමන්නෙකු සේ, උග්‍ර වී ඇති වසංගත අර්බුදය හමුවේ අවසානයට අනතුරු ඇඟවීම් ප්‍රකාශ කරන විට, ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය වූ අතිශයින්ම සම්ප්‍රේෂණය කළ හැකි B.1.617 ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වී ඇති බව වසංගත විශේෂඥයෝ පවසති.
ඉන්දියාවේ වෛද්‍ය සැපයුම්වල කළුකඩ වෙළෙඳාම මේ වනවිට ජයටම සරුවී ඇත්තේ, නවදිල්ලියේ ඔක්සිජන් සිලින්ඩරයක මිල සාමාන්‍ය මිලට වඩා 20 ගුණයකින් ඉහළ ගොස් එය ඉන්දීය රු.70,000ක් දක්වා වැඩිවී ඇති පසුබිමකය.
මෙම අර්බුදය හමුවේ ඉන්දීය ජනතාවගේ ජීවන වියදම අහස උසට ඉහළ නැග ඇත. එමෙන්ම වැඩිවන මරණ සංඛ්‍යාව සමග අවමංගල්‍ය රථ, ආදාහනය සඳහා ස්ථානයක් මෙන්ම, ආදාහනයට අවශ්‍ය දැවවල හිඟයක්ද ඇති වී තිබේ. මේ තත්ත්වය තම ආදරණීයයන් සඳහා අවසාන යුතුකම ඉටු කිරීම සඳහාත් දැරිය නොහැකි ඉහළ මිලක් ගෙවීමට මිනිසුන්ට බල කෙරෙමින් පවතින බව වාර්තා වෙයි.
මේ අතර විදෙස් වාර්තාවලින් කියවුණේ, ඉන්දීය රජයේ නීති මගින් ලාභ නොලබන සංවිධානවලට සෘජුව මැදිහත්ව ඔක්සිජන් සාන්ද්‍රක සැපයීමද වළක්වන බවයි. එරට විදේශ දායකත්ව නියාමන පනත සංශෝධනය කරන ලද බැවින් ඉන්දියාවේ ක්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධානවලට, වෙනත් කණ්ඩායම්වලට විදේශීය සැපයුම් බෙදා හැරීමට අවස්ථාවක් නොමැති වීමෙන් කඩිනම් සහන සැපයීමට විදේශයන්ටද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව කියයි.