ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තය වන මහාරාෂ්ට්රය ඊයේ (05දා) සිට දැඩි කොවිඩ්-19 සීමා කිරීම් ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව ඊයේ දිනයේ සවස සිට ප්‍රාන්ත රජය විසින් සාප්පු සංකීර්ණ, සිනමා ශාලා, බාර්, අවන්හල් සහ ආගමික ස්ථාන වසා දැමීමට නියෝග කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ දත්තවලට අනුව, ඉන්දීය ජනගහනයෙන් දහයෙන් එකක් පමණ ජීවත් වන මහාරාෂ්ට්රය, පසුගිය දින 14 තුළ රටේ සිදු වූ සමස්ත ආසාදිතයන්ගෙන් 57%ක් සහ මරණවලින් 47%ක් සඳහා දායක වී ඇත.
පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 11,163ක් වාර්තා වීමෙන් පසුව, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි හි වසංගතය ආරම්භයේ සිට මේ දක්වා වැඩිම කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.
පෙර නොවූවිරූ ලෙස ආසාදිතයන් ඉහළ යෑම මධ්‍යයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත රජය විසින් රාත්‍රී ඇඳිරි නීතිය සහ සති අන්තයේ එනම් සිකුරාදා රාත්‍රී 8.00 සිට සඳුදා පෙ.ව. 7.00 දක්වා දැඩි අගුලු දැමීමක් ඇතුළු නව සීමාවන් ප්‍රකාශයට පත් කරන ලදී.
ඉන්දියාවේ ආර්ථික නිමැවුමෙන් 16%කට පමණ දායක වන මහාරාෂ්ට්රය වෙත සංක්‍රමණික කම්කරුවන් මිලියන ගණනක් පැමිණෙන අතර, ඔවුන් ඉන්දියාව පුරා ගමන් කිරීමද අවදානම වැඩි කරන්නකි.
මේ අතර කැබිනට් රැස්වීමකින් අනතුරුව ප්‍රාන්ත රජයේ අමාත්‍ය නවාබ් මලික් මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ නිෂ්පාදන හා ඉදිකිරීම් කටයුතු වැනි කාර්මික මෙහෙයුම් සුපුරුදු පරිදි කරගෙන යාමට ඉඩ දෙන බවයි.
ඉන්දියාව සිය ජාතික එන්නත් කිරීමේ ව්‍යාපාරය ජනවාරි මාසයේදී දියත් කළ අතර, මේ වනවිට මිලියන 73කට අධික ජනතාවක් එන්නත් කර ඇත. නමුත් ප්‍රතිශක්තිකරණ වැඩසටහන විසින් මේ මහා ආසාදන රැල්ල පාලනය කිරීමට සමත්ව නැත. ඒ අනුව තවදුරටත් මහජන සෞඛ්‍ය පුරුදු ක්‍රියාත්මකව තිබීමේ වැදගත්කම අවධාරණය කෙරෙයි.