ඉන්දියාවේ කොවිඩ්-19 ආසාදිතයන් අඛණ්ඩව වාර්තාගත ලෙස වැඩිවෙමින් ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 360,960ක් සමග මරණ 3,293ක් වාර්තා කරද්දී ඉන්දියාවට අසල්වැසි නේපාලය, පාකිස්තානය සහ බංග්ලාදේශයේ තත්ත්වයද අවදානම් බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
ඒ අනුව ඉන්දියාව ගෙවීගිය දිනයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 17,997,267ක් ලෙස වාර්තා කළ අතර, සමස්ත මරණ සංඛ්‍යාව ලක්ෂ 2ක සීමාව ඉක්මවා යමින් 201,187ක් ලෙස වාර්තා විය.
නේපාලයේ අවදානම
ඉන්දියාවේ ඊසානදිග මායිම වන නේපාලය, පෙබරවාරි මාසයේදී ආසාදන සංඛ්‍යාව පහත වැටීමට පටන්ගත් අතර, අලුතින් හඳුනාගත් සිද්ධීන් දිනකට 50ත් 100ත් අතර සංඛ්‍යාවක් වාර්තා විය. නමුත් අපේ‍්‍රල් මැද භාගයේදී ආසාදන ශීඝ්‍රයෙන් ඉහළ ගියේ ඉන්දියාවේ දෙවැනි රැල්ලේ වේගය වැඩිවීමත් සමගිනි. මෙම පැතිරීම කේන්ද්‍රගත වී ඇත්තේ කත්මණ්ඩු අගනුවර මායිම් නගරය වන ලුම්බිනි පළාතේ නේපාලගුන්ජ් ආශ්‍රිතවය.
රෝගීන් වැඩිවීමට එක් හේතුවක් වන්නේ නේපාල ජාතිකයන් ඉන්දියාවෙන් ආපසු පැමිණීම බව එරට වසංගත රෝග හා රෝග පාලන අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ක්‍රිෂ්ණා ප්‍රසාද් පූඩෙල් මහතා පැවසීය. ඉන්දියාවේ සහ එක්සත් රාජධානියේ ප්‍රථම වරට අනාවරණය කරගත් ඒවා ඇතුළු ප්‍රභේද කිහිපයක් නේපාල රෝගීන්ගෙන් අනාවරණය වී ඇති බව කියයි. විවෘත වෙළෙඳ පොළවල්, ජනාකීර්ණ පොදු අවකාශ සහ මහජන සෞඛ්‍ය පූර්වාරක්ෂාවන් නොමැතිව මිනිසුන් සැමරූ උත්සව වැනි වෙනත් සාධකද හේතු වී ඇත. රෝගය පැතිරීම මැඬපැවැත්වීම සඳහා නේපාල රජය බ්‍රහස්පතින්දා සිට බලාත්මක වන පරිදි නගර ගණනාවක දේශීය අගුලු දැමීම් සිදුකර ඇති අතර, එය දින 15ක් පවතිනු ඇත.
නමුත් එරට රෝහල් දැනටමත් පීඩනය දැනී ඇති අතර, නේපාලගුන්ජ් හි බෙරි රෝහල තුළ ඇඳන් පිරී ගොස්, ඔක්සිජන් සැපයුම අඩුවෙමින් ඇත. මෙය තවත් රැල්ලක ආරම්භය බව කත්මණ්ඩු හි සුක්‍රරාජ් නිවර්තන හා බෝවන රෝග රෝහලේ වෛද්‍ය ෂර් බහදූර් පුන් පැවසීය.
බංග්ලාදේශයේ අවදානම
මේ අතර, ඉන්දියාවේ නැගෙනහිර දෙසින් පිහිටි බංග්ලාදේශයද මාර්තු මාසයේදී සිය ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ යාමට පටන් ගත් අතර, එය අපේ‍්‍රල් මස මුලදී උපරිමයට පැමිණ තිබේ. එහෙත් එතැන් සිට ආසාදනයන් යම් පහළ යාමක් සිදුව ඇත්තේ බලධාරීන් විසින් දැඩි අගුලු දැමීම් සිදුකරමින්, ඉන්දියාව සමග සිදුකරන සෘජු ගුවන් ගමන් අත්හිටුවීමත් සමගිනි.
එහිදී ඉන්දියාව සමග වෙළඳාම දිගටම පැවතුනද, පසුගිය සඳුදා සිට බංග්ලාදේශය ඉන්දියාව සමග දේශ සීමාව සති දෙකක් වසා දැමීමට තීරණය කළේය. නමුත් ඉන්දියාවේ පවතින අවදානම් තත්ත්වය බංග්ලාදේශය වෙත දැඩි බලපෑමක් සිදුකළ හැකි බවට අනතුරු ඇඟවීම් සිදුකර තිබේ. එරට බලධාරීන් ඒ සම්බන්ධයෙන් හැකි සෑම පියවරක්ම ගැනීමට කටයුතු කරන අතරම, ඉතාලිය මේ වනවිටත් බංග්ලාදෛ්ශයේ සිට පැමිණෙන ගුවන් ගමන් තහනම් කර තිබේ.
පාකිස්තානයේ තත්ත්වය
ඉන්දියාවට බටහිරින් මායිම් වන පාකිස්තානයේ ඔක්සිජන් සැපයුම් අඩුවෙමින් පවතී. මාර්තු මස මුලදී එහි ආසාදන තීව්ර වීමට පටන් ගත් අතර, එය ඉන්දියාවේ වේගවත් ආසාදන සුනාමියට සමගාමීව මාසය අවසානයේදී වේගවත් විය.
බදාදා දිනයේ පාකිස්තානයේ කොවිඩ්19 මරණ 201ක් වාර්තා කර ඇති අතර, එය මෙතෙක් වාර්තා වූ ඉහළම දෛනික මරණ සංඛ්‍යාවයි. එමෙන්ම ආසාදිතයන් 88,000කට වැඩි ප්‍රමාණයක් තවමත් සක්‍රීය රෝගීන් ලෙස පැවසෙයි.
කෙසේ වෙතත් ඉන්දීය ප්‍රභේදය පිළිබඳ සිද්ධියක් මෙතෙක් හඳුනාගෙන නොමැති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය තහවුරු කළේය. පාකිස්තානය අප්‍රේල් 19දා සිට ඉන්දියාවේ සිට සිදුකෙරෙන සියලු වර්ගවල ගමන් තහනම් කර ඇත.
මේ අතර පවතින තත්ත්වය හමුවේ එරට රජය විසින් කොවිඩ්-19 මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමට සහාය වන ලෙස හමුදාවෙන් ඉල්ලා සිටි අතර එළිමහන් භෝජන, ජිම් සහ 12 ශ්‍රේණිය දක්වා පාසල් වසා දැමීම ඇතුළු නව සීමාවන් ගණනාවක් පැනවීය. ඉස්ලාමීය දින දර්ශනයේ වැදගත්ම උත්සවයක් වන මැයි මාසයේ ඊද් නිවාඩුව තිබියදීත්, රට තුළ සියලුම සංචාරක හා අන්තර් පළාත් සංචාර තහනම් කර ඇත.