ෆ්ලේවියෝ රමෝස් දැඩි හුස්ම ගැනීමේ අපහසුවක් සමග මුලින්ම රෝහල් කාමරයට ඇතුළු කරනවිට මළ සිරුරු මුලින්ම දුටුවේ ඔහුගේ පුත් ආටුරෝ ය.
රෝහල් බිම මත කිසිවෙකු විසින් අත නොතැබූ, පොලිතීන් ආවරණයකින් සීල් කරන ලද මළ සිරුරු දෙකක් විය. නමුත් පසුදා උදෑසන වන විට කාමරයේ සිරුරේ ප්‍රමාණය තුන දක්වා ඉහළ ගියේය. ෆ්ලේවියෝ රමෝස් මිය ගියේය.
නමුත් ඔහුගේ මරණයෙන් මාසයකට වැඩි කාලයක් ගතවී ඇතත් ඔහුගේ පවුලේ අය තවමත් ෆ්ලේවියෝ රමෝස්ගේ දේහය දුටුවේ නැත.
ඔවුන් ඔහුගේ සිරුර එක්වරක් හෝ දැකගැනීමට උත්සාහ කළද රෝහල් බලධාරීන් පවසා තිබුණේ එම සිරුර සොයාගත නොහැකි බවය.
"අපට මේ අවනඩුව කියන්නවත් තැනක් නෑ. ඉරිදා අප පියා වෙනුවෙන් මල් තැබුවා" යැයි ඔහුගේ හද කම්පා වූ පුතා පැවසීය. "කිසිවක් නැහැ. ඔබට කළ හැකි කිසිවක් නැහැ."
55 හැවිරිදි ෆ්ලේවියෝ රමෝස්, ඉක්වදෝරයේ ගුවායාකිල් හි තවත් කොවිඩ් -19 ගොදුරක් වන අතර, ලතින් ඇමෙරිකාවට අයත් ඉක්වදෝරය මේ වනවිට ලෝකයේ කොරෝනා වෛරසය දරුණු ලෙස පැතිර යන රාජ්‍යයන්ගෙන් එකකි.
ඔහුගේ මරණය හා අතුරුදහන් වීම පෙන්නුම් කරන්නේ ඉක්වදෝරයේ දෙවැනි විශාලතම නගරය වන ගුවායාකිල් හි සෞඛ්‍ය පද්ධතිය මාර්තු මාසයේදී එරට වෛරසය පැතිර යාම ආරම්භ වී සති කිහිපයක් තුළ බිඳ වැටී ඇති ආකාරයයි.
පසුගිය සතිය වනවිට ඉක්වදෝරයේ විදිවල පොලිතීන් උරවල බහා, කාඩ්බෝඩ් කැබැල්ලකින් වැසුණු කොවිඩ්-19 ආසාදිතයන්ගේ මළ සිරුරු දැකගත හැකි විය.
නිසි නිරෝධායනය හෝ රෝහල්ගත වූ ආසාදිතයන් බේරාගැනීමට තබා, මළ සිරුරු නිසි පරිදි භූමදාන කිරීමටවත් ඉක්වදෝරයේ ක්‍රමවේදයක් නොතිබුණු අතර, බොහෝ මළ සිරුරු නිවෙස්වලට ගත නොහැකි නිසා ඒවා මංමාවත් අසල තැබීම හැර විකල්පයක් නොවීය.
සූදානම් නොවූ සෞඛ්‍ය සේවා පද්ධතියක් මත වේගයෙන් පැතිර යන වසංගතයකින් රෝහල් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති අතර, මිනිසුන්ට සැබවින්ම උපකාර කිරීමට අවස්ථාවක් නොලැබෙන බව ඉක්වදෝරයේ වෛද්‍යවරු පවසති.
එක් වෛද්‍යවරයෙක් පැවසුවේ, "මිනිස්සු සම්පූර්ණයෙන්ම බියට පත්වයි ඉන්නේ. අයෙක් රෝහලට එනවා. එයා මිය යනවා .ඊළඟ කෙනා එනවා. එයා මිය යනවා. ඊළඟට තව කෙනෙක් එනවා. එයත් මිය යනවා. මේ ආකාරයට දිගින් දිගටම පැමිණෙන තම සමීපතමයන්, තම ඥාතීන් දකිමින් ඒ ජනතාව සෑහෙන බියට පත්වෙලා. කඩා වැටී ඇති සෞඛ්‍ය පද්ධතියක හා නිසි කළමනාකරණයක් නැති රාජ්‍ය පාලයක් තුළ අපට කළ හැකි කිසිවක් නෑ." යනුවෙනි.
ඉක්වදෝරයේ මේ වනවිට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 30,298ක් වන අතර, ආසාදිත මරණ සංඛ්‍යාව 1,654කි.