ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත කොරෝනා රෝගය වැළැක්වීම සඳහා 79%ක් ඵලදායී වන අතර, රුධිර කැටි ගැසීමේ අවදානමක් නොමැති බව ඒ සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ සිදුකළ සායනික පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.
එක්සත් ජනපදයේදී තුන්වැනි අදියර සායනික කාර්යක්ෂමතා අත්හදා බැලීම්වලින් පසුව ඇස්ට්රාසෙනෙකා ජෛව තාක්ෂණ සමාගම මෙම නිවේදනය සිදුකර තිබේ.
ඒ අනුව ඇස්ට්රාසෙනෙකා හි කොවිඩ්-19 මර්දන එන්නත මගින් රෝග ලක්ෂණ වලට එරෙහිව 79%ක කාර්යක්ෂමතාවයක් සහ දරුණු රෝග හා රෝහල් ගතවීම්වලට එරෙහිව 100%ක කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව එක්සත් ජනපදය පදනම් කරගත් මෙම නව සායනික පරීක්ෂණය පෙන්වා දී තිබේ.
නව තෙවැනි අදියර සායනික අත්හදා බැලීමේ සොයාගැනීම්වලට 32,000කට වැඩි පිරිසක් සහභාගී වී ඇති අතර, එන්නත පිළිබඳ විශ්වාසය වැඩි කළ හැකි නිගමනයක් බවත් කියයි.
මීට අමතරව, වයස අවුරුදු 65ට වැඩි අයට මෙම එන්නත් මාත්රා 80%ක් ඵලදායී වූ බව එහි දැක්වේ. මීට පෙර අත්හදා බැලීම්වලට සහභාගී වූ වැඩිහිටියන් අතර දත්ත නොමැතිකම හේතුවෙන් වයස්ගත පුද්ගලයින්ට එන්නත් ලබා නොදීමට රටවල් කිහිපයක් පියවර ගෙන තිබුණි.