ඇමෙරිකා එක්සත් ජනපදයේ, කොලරාඩෝ ප්‍රාන්තයේ කිංග් සූපර්ස් සුපිරි වෙළෙඳසැලක සිදුවූ සමූහ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුළු පුද්ගලයන් 6 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
බෝල්ඩර් පොලිස් දෙපාර්තමේන්තුවේ අණදෙන නිලධාරී කෙරී යමගුචි පැවසුවේ එක් සැකකරුවෙකු අත්අඩංගුවේ පසුවන නමුත් ඔහු එකම වෙඩික්කරුවා දැයි තවමත් විමර්ශනය කරමින් සිටින බවයි. බලධාරීන් පවසන්නේ සැකකරුටද වෙඩි වැදී ඇති නිසා ඔහු තුවාල සඳහා ප්‍රතිකාර ලබන බවයි.
ප්‍රහාරයට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති අතර, තුවක්කුකරු සහ මෙම වෙළෙඳ සැල් ගබඩාවේ සිටින පුද්ගලයින් අතර කිසියම් සම්බන්ධතාවයක් ඇත්දැයි සොයා බැලීම විමර්ශනයේ කොටසක් වන බවත්, වෙඩි තැබූ තැනැත්තාට කිසියම් සේවකයෙකු සමග සම්බන්ධයක් තිබේදැයි මෙතෙක් නොදන්නා බවත් පොලීසිය කියයි.
පොලිස් අණදෙන නිලධාරියා පැවසුවේ බෝල්ඩර් පොලිස් දෙපාර්තමේන්තුවේ එක් නිලධාරියෙකු ඇතුළු වෙඩි තැබීමෙන් පුද්ගලයන් කිහිප දෙනෙකු මියගොස් ඇති බවයි. කොපමණ පිරිසක් මියගොස් ඇත්දැයි පොලිසිය තවමත් තීරණය කරමින් සිටින නමුත්, ඇතැම් මාධ්‍ය වාර්තාවන්ට අනුව මේ වනවිට පුද්ගලයන් 6 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවද සඳහන් වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකෙරෙන අතර, මියගිය සංඛ්‍යාව වැඩිවිය හැකි බවද ඇමෙරිකානු මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. මේ ආකාරයේ සමූහ වෙඩි තැබීම් ඇමෙරිකාව පුරා පසුගිය කාලයේ වාර්තා වූ අතර, ගිනිඅවි භාවිතය සම්බන්ධ නීති වෙනස් කිරීමේ කතාබහක්ද රට තුළ මේ හරහා ඇතිවිය.