කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයත් සමග රට පුරා සිවිල් කැලඹීම් උත්සන්න වීමෙන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්රාන්තයන්ගෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ජාතික ආරක්ෂක බලකාය කැඳවීමට කටයුතු කර තිබේ.
මිනසෝටා ප්‍රාන්තයේ, මින්නෙපොලිස්හි පොලිස් නිලධාරියෙකු අතින් නිරායුධ කළු ජාතිකයෙකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ මරණය සම්බන්ධයෙන් එක්සත් ජනපදය පුරා විරෝධතා දිගහැරුණු 6 වැනි දිනය අදයි.
අවම වශයෙන් නගර 40ක් ඇඳිරි නීතිය පනවා ඇති අතර, එරට සමස්ත ප්රාන්තයන්ගෙන් 50%ක් ඉක්මවා තත්ත්වය පාලනය කරගැනීමට ජාතික ආරක්ෂක බලකා කැඳවා තිබේ.
ෆ්ලොයිඩ්ගේ බෙල්ලේ දණහිසින් පාගාගෙන සිටි හිටපු නිලධාරියෙකුට තෙවැනි මට්ටමේ පුද්ගල ඝාතන චෝදනා එල්ල වී තිබුණත්, එය ප්‍රමාණවත් නොවන බව විරෝධතාකරුවෝ පවසති.
ප්රකෝපකාරී පිරිස් පොලීසියට හා පොලිස් රථවලට පහරදීම සහ දේපොළ හානි කිරීම සෑම තැනම දැකිය හැකි අතර, මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා බොහෝ දෙනෙකු ප්රමුඛ පෙළේ වෙළෙඳ සැල්වල සිට පුංචි කඩ සාප්පු පවා මංකොල්ලකෑමට පටන් ගෙන ඇති දර්ශන දැකිය හැකිය. මේ තත්ත්වය පොලීසියට පමණක් පාලනය කරගත නොහැකි මහා කැලඹීමක් බව ඇමෙරිකානු මාධ්‍ය පවසයි.
ඒ අනුව ඇමෙරිකානු ජාතික ආරක්ෂක බලකායන්හි හමුදා භට පිරිස් 17,000කට වැඩි පිරිසක් පළාත් පාලන ආයතනවල සහාය ඇතිව සිවිල් කැලඹීම්වලට ප්‍රතිචාර දැක්වීමට යොදවා ඇති බව කියයි.
අද වනවිට ප්‍රාන්ත 26 ක් සහ කොලොම්බියා දිස්ත්‍රිකය ආශ්‍රිතව ජාතික ආරක්ෂක බලකා සක්‍රීය කර තිබුණි.
ඒ අනුව, ඇරිසෝනා, ආකන්සාස්, කැලිෆෝනියා, ෆ්ලොරිඩා, ඉලිනොයිස්, මිචිගන්, නෙබ්‍රස්කා, නෙවාඩා, ඔක්ලහෝමා, ඔරිගන්, වර්ජිනියා, කොලරාඩෝ, ජෝර්ජියා, ඉන්දියානා, කෙන්ටකි, මිනසෝටා, නෝත් කැරොලිනා, ඔහියෝ, පෙන්සිල්වේනියා, සවුත් කැරොලිනා, සවුත් ඩකෝටා, ටෙනසි, ටෙක්සාස්, උටාහ්, වොෂිංටන් ඩීසී, විස්කොන්සින් සහ කොලොම්බියා දිස්ත්‍රික්කය වෙත මෙසේ ජාතික ආරක්ෂක බලකා කැඳවා ඇති අතර, වීදි පුරා සන්නද්ධ රථ දැකිය හැකිය.