එක්සත් ජනපදයේ කැපිටල් හිල් ගොඩනැගිල්ලේ පිටත බාධකයක් වෙත කඩා වැදුණු මෝටර් රථයක සිටි සැකකරුවෙකු එහි ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියෙකු පිහි ප්‍රහාරයකින් ඝාතනය කර ඇති අතර, පොලිස් වෙඩි පහරින් සැකකරුද ජීවිතක්ෂයට පත්ව තිබේ.
පසුගිය ජනවාරි 06දා ට්‍රම්ප් ආධාරකරුවන් එරට කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදී සිදුවූ ඛේදවාචකයෙන් පසුව මෙවැනි උණුසුම් තත්ත්වයක් ඒ ආශ්‍රිතව ඇති වූ ආසන්නතම අවස්ථාව මෙයයි.
ආරක්ෂක බාධකයේ වාහනය ගැටීමත් සමග ඉන් පිටතට ආ සැකකරු පිහියක් අතැතිව පොලිස් නිලධාරීන් දෙදෙනෙකු වෙත දිවගොස් ඇති අතර, එහිදී එක් අයෙකුට පිහියෙන් ඇන ඇති බව නිර්නාමිකභාවයේ කොන්දේසියක් මත ආරක්ෂක නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.
මේ සමගම කැපිටල් හිල් ගොඩනැගිල්ල වසා දමා ඇති අතර, අඛණ්ඩ තර්ජනයක් නොමැති බව පසුව පොලීසිය විසින් තහවුරු කරගෙන ඇත.
ඝාතනයට ලක්වූ පොලිස් නිලධාරියා විලියම් එවන්ස් ලෙස හඳුනාගෙන ඇති අතර, සැකකරු 25 හැවිරිදි නෝවා ග්‍රීන් ලෙස හඳුනාගෙන තිබේ. පොලීසිය ඔහු චේතනාන්විතව මෙම ප්‍රහාරය එල්ල කළේද යන්න පිළිබඳ විමර්ශන මෙහෙයවමින් සිටින බව සඳහන් වෙයි.
ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම ප්‍රහාරය පිළිබඳව තමා සහ බිරිඳ හදවතින්ම කම්පාවට පත්ව ඇති බවත් එවන්ස්ගේ පවුලට ශෝකය ප්‍රකාශ කරන බවත්ය.