ඇමෙරිකා එක්සත් ජනපදයේ, ෆ්ලොරිඩාවේ අභියාචනාධිකරණය විසින් එරට ආණ්ඩුකාර රොන් ඩීසැන්ටිස්ට පක්ෂව තීන්දුවක් ලබාදෙමින්, රජයේ ප්‍රසිද්ධ පාසල්වල මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීමට එරෙහි ඔහුගේ තහනම යළිත් ඵලදායී ලෙස නැවත ස්ථාපිත කළේය.
"මෙහි පුදුමයක් නැහැ. තම දරුවන් සඳහා හොඳම තීරණ ගැනීමේ දෙමාපියන්ගේ අයිතිය නැවත ලබා දීමට අධිකරණය ක්‍රියාකර තිබෙනවා" ඩීසැන්ටිස් ට්විටර් පණිවුඩයක් තබමින් කීවේය. "දෙමාපියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් මම දිගටම සටන් කරනවා."
කෙසේ වෙතත් කොවිඩ්-19 පූර්වාරක්ෂාවන් මේ වනවිට ඇමෙරිකාවව තුළ දැඩි දේශපාලනීකරණය වූ ගැටුමක් බවට පත්ව ඇත. පළාත් පාලන ආයතන සහ පාසල් දිස්ත්‍රික්කවල මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම වැළැක්වීම සඳහා රිපබ්ලිකන් ආණ්ඩුකාරවරුන් උත්සාහ කළ එක්සත් ජනපද ප්‍රාන්ත කිහිපයකින් එකක් ලෙස ෆ්ලොරීඩා සැලකෙයි.
ට්‍රම්ප්ට සහාය දක්වන මෙම ආණ්ඩුකාරවරුන් පැවසුවේ එවැනි නීති පුද්ගලික නිදහස උල්ලංඝනය කරන බවයි. කෙසේ වෙතත් ඩෙල්ටා ප්‍රභේදය විසින් අවි අමෝරා සිටින කොවිඩ්-19 වසංගතය පැතිරීම අවම කිරීම සඳහා නීතිරීති අවශ්‍ය බව මුඛ ආවරණ නියෝගවලට පක්ෂව පෙනී සිටි අය පවසති.