ලොව පුරා වාර්තා වී ඇති දෛනික කොවිඩ්-19 වෛරසය ආසාදන මාසයක් පුරා පහත වැටෙමින් පවතින අතර, පසුගිය අඟහරුවාදා වනවිට 2020 ඔක්තෝබර් මැද සිට මේ දක්වා අවම මට්ටමට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.
නමුත් ලොව පුරා එන්නත් ලබාදෙන විට පවා දැනට වසංගතයෙන් ආරක්ෂාවීමට සිදුකරන මහජන සෞඛ්‍ය පුරුදු (මුඛ ආවරණ, සමාජ දුරස්ථකරණය සහ නිතර දෑත් සේදීම ආදී) ගැන අවධානය අඩුවීම හෝ උදාසීනත්වයට පත්වීම ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයන් අනතුරු අඟවා තිබේ.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ ආකාරයෙන් ආසාදන හා මරණවල පහළ යෑමට, අගුලු දැමීම්, රැස්වීම් හා නිදහස් සංචරණයන්ට දැනට පණවා ඇති සීමාවන් මෙන්ම, නිසි මහජන සෞඛ්‍ය පුරුදුද හේතු වී ඇති බවයි.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ, වසංගතයේ අඛණ්ඩ රැළි නැවැත්වීමේ අවශ්‍යතාව රජයන් විසින් බැරෑරුම්ව සැලකිල්ලට ගත යුතු බවයි. ඒ ඔස්සේ මිනිසුන් නැවත රැකියාවට හා ළමයින් නැවත පාසලට ගෙන ඒමේ අවශ්‍යතාව ඉක්මණින් තහවුරු කළ හැකි බව ඔවුන් පවසයි.
විශේෂයෙන්ම මෙම වසංගත අර්බුදයෙන් මිදීමේ මාර්ගයන් පිළිබඳ ශුභවාදී ආකල්ප වෛරසයේ නව ප්රභේදයන් මගින් අවුස්සා ඇති බව පවසන සෞඛ්‍ය විශේෂඥයන්, එන්නත්වල කාර්යක්ෂමතාව පිළිබඳ බිය මතු කර ඇති පසුබිමක සියල්ල අවසන් යැයි නොසිතා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.
කොවිඩ්-19 පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) තාක්ෂණික නායකයා වන මාරියා වැන් කෙර්කොව් ජිනීවා හි පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්, "ඔබේ සෞඛ්‍ය ආරක්ෂක පුරුදු අඩු කිරීමට දැන් කාලය නොවෙයි. පළමු රැල්ලෙන් පසුව සිදුවූ ආකාරයෙන්, අපට නැවත ආසාදන ඇතිවන තත්ත්වයකට අප ඉඩ නොදිය යුතුයි." යනුවෙන් පවසා සිටියාය.