නව කොරෝනා වෛරසය ලොවපුරා පැතිරීම ආරම්භක අවධියේදී ආසාදිත ලැයිස්තුවේ මුලින්ම සිටි චීනය මේ වනවිට පසුකරමින් තවදුරටත් ඉදිරියට පැමිණි නවතම රටවල් දෙක බවට චිලී රාජ්‍යය හා මෙක්සිකෝව පත්ව තිබේ.
ඒ අනුව මේ වනවිට රට තුළ වෛරසය පාලනය කර ඇති චීනය ආසාදිත ලැයිස්තුවේ 14 වැනි තැන සිටි අතර, මෙසේ චිලී රාජ්‍යය සහ මෙක්සිකෝව ඉදිරියට පැමිණීමත් සමග චීනය දැන් ලැයිස්තුවේ 16 වැනි තැන දක්වා පසුබැස තිබේ.
ඒ අනුව ලැයිස්තුවේ 14 වැනි ස්ථානය වෙත ළඟා වී ඇති චිලී රාජ්‍යයේ අද (30දා) උදෑසන වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 90,638ක් දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් චිලියෙන් වාර්තා වන කොවිඩ්-19 ආශ්රිත මරණ සංඛ්‍යාව 944කි. එරට වෛරසය ආසාදිතව සුවය ලැබූවන් සංඛ්‍යාව 38,598ක් ලෙස වාර්තා වෙයි.
එමෙන්ම ලැයිස්තුවේ 15 වැනි ස්ථානයට පත්ව ඇති මෙක්සිකෝවේ අද (30දා) උදෑසන වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 84,627කි. එරට සමස්ත කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 9,415ක් තරම් ඉහළ අගයකි. එරට වෛරසය ආසාදිතයන්ගෙන් සුවය ලබා ඇති සංඛ්‍යාව 59,003කි.
චීනය ලැයිස්තුවේ 16 වැනි තැන රැඳී සිටින්නේ ආසාදිත අගය 84,123ක් ලෙසිනි. එරට සමස්ත මරණ සංඛ්‍යාව 4,638ක් ලෙස වාර්තා වූ අතර, වෛරසය ආසාදිතව සුවය ලබා ඇති පිරිස 79,382කි. චීනය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ වෛරසය පාලනය කරමින් සිට රටේ සාමාන්‍ය ජනජීවිතය ක්‍රමයෙන් යථාවත් කරමින් සිටියි.