ඇම්ෆාන් සුළි කුණාටුව කොවිඩ්-19 ට වඩා විශාල ව්‍යසනයක් බව නැගෙනහිර ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ මහ ඇමති මමාටා බැනර්ජි පවසයි.
බෙංගාල බොක්ක ආශ්‍රිතව මෙතෙක් ඇති වූ ප්රබලතම සුපිරි සුළි කුණාටුවක් ලෙස සැලකෙන අම්ෆාන්, ඊයේ (20දා) සවස ඉන්දියාවේ කොල්කටා නගරයට ඔබ්බෙන් රට තුළට ඇතුළු විය.
"ප්‍රාන්තයේ දකුණු කොටස මුළු ප්‍රදේශයටම බලපා තියෙනවා. අප සියලු දෙනා කම්පනයට පත්වෙලා. හානිය තක්සේරු කිරීමට දින තුනක් හෝ හතරක් ගතවනු ඇති" මහ ඇමති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
නැගෙනහිර ඉන්දියාවේ අවම වශයෙන් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් ඇති අතර, හවුරා දිස්ත්‍රික්කයේ එක් තරුණියක් ඇගේ නිවසේ තාප්පයක් කඩා වැටීමෙන් මියගොස් ඇති බව මහ ඇමති බැනර්ජි සඳහන් කළේය.
"සුළි කුණාටුව විදුලි සැපයුමට බලපා ඇති අතර, බොහෝ නිවාස, පාලම් සහ බැමි විනාශ කර තිබෙනවා."
බැනර්ජි පවසන පරිදි එම ප්‍රාන්තයේ පමණක් 500,000ක් පමණ ජනතාව ප්‍රාන්ත රජය විසින් ආරක්ෂිත ස්ථාන කරා යොමුකර තිබුණි.
මේ අතර බංග්ලාදේශයේ දේශ සීමාවට ඔබ්බෙන් නිවාස දහස් ගණනක් සුළි කුණාටුව නිසා විනාශට පත්ව තිබේ. සුළි කුණාටුව හේතුවෙන් බංග්ලාදේශයේ තාවකාලික නිවාස දහස් ගණනක් සම්පූර්ණයෙන්ම උදුරා දමා ඇති බව බංග්ලාදේශ ඔක්ස්ෆෑම් අධ්යක්ෂ දීපන්කර් දත්තා පැවසීය.
එමෙන්ම බංග්ලාදේශයේ රාජ්‍ය අමාත්‍ය එනාමුර් රහ්මන් පවසා තිබුණේ, ඊයේ (20දා) වනවිට බංග්ලාදේශය මිලියන 2.4ක ජනතාවක් ඉවත් කර තිබූ බවයි. මේ අතර ලොව විශාලතම සරණාගත කඳවුර ලෙස සැලකෙන රොහින්ග්‍යා සරණාගතයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සිටින කොක්ස් බසාර් ඇම්ෆාන් සුළි කුණාටුව සඳහා සූදානම් බව බංග්ලාදේශ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.
"සුළි කුණාටුව සඳහා අපි සූදානම්. සරණාගතයින්ගේ පැල්පත් අපි දැඩි කර තිබෙනවා" යැයි සරණාගත සහන සහ නැවත මෙරටට ගෙන්වා ගැනීමේ කොමසාරිස් මහබුබ් අලාම් තලූක්ඩර් සීඑන්එන් වෙත පැවසීය.
"කඳවුරු 32 ම ස්වේච්ඡා සේවකයින් පුහුණු කර තිබෙනවා. සරණාගතයින්ගේ ආරක්ෂාව සඳහා වෙනත් ස්ථානයකට ගෙන යාමට අවශ්‍ය නම් අපට මුස්ලිම් පල්ලි සහ වෙනත් ඉගෙනුම් මධ්‍යස්ථාන පවතිනවා."
කෙසේ වෙතත් ඉන්දියාව හා බංග්ලාදේශය යන දෙරටේම බලධාරීන් කියා තිබුණේ කොරෝනා වසංගතය සමග ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමුකිරීම තරමක් දුෂ්කර කාර්යයක් බවයි. විශේෂයෙන්ම සමාජ දුරස්ථකරණ සීමා ආරක්ෂා කරමින් මෙවැනි අවස්ථාවක කටයුතු කිරීමේ ප්‍රායෝගික ගැටලු ඔවුන් ඉස්මතු කළේය.
එක්සත් ජනපද ඒකාබද්ධ සුළි සුළං අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව අම්ෆාන් සුළි කුණාටුව ඉන්දියාවේ බටහිර බෙංගාලයේ සාගර් දූපත අසලින් ඊයේ පස්වරු 5.00 ට ගොඩබිම කරා ඇතුළු වනවිට, පැයට කිලෝමීටර් 160ක වේගයෙන් (පැයට සැතපුම් 100) සුළං ඇති කළ 2 වැනි කාණ්ඩයේ අත්ලාන්තික් සුළි කුණාටුවට සමාන වී තිබේ.
අධික වර්ෂාව හේතුවෙන් අද (21දා) උදෑසන වනවිට කලාපය පුරා හදිසි ගංවතුර තත්ත්වයක් සහ නායයෑම් ඇති කර තිබෙන අතර, කුණාටුව තව දුරටත් රට තුළට තල්ලු වූ පසු එය සැලකිය යුතු ලෙස දුර්වල වන අතර සිකුරාදා වනවිට කුණාටුව විසිරී යනු ඇතැයි අපේක්ෂා කෙරේ.