ඇෆ්ගනිස්ථානයේ සිට මධ්‍යම ආසියාතික රටවලට සරණාගතයින් යැවීම සම්බන්ධයෙන් එක්සත් ජනපදය සහ නේටෝ මිත්‍ර රටවල් විවේචනයට ලක් කළ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පූටින්, මොස්කව් වෙත ඉන් සෘජු තර්ජනයක් එල්ල කරන බව පැවසීය.
ආසියාවේ ඇෆ්ගන් සංක්‍රමණිකයන්ගේ වීසා රහිත රැකවරණ අසාධාරණ එකක් ලෙස හැඳින්වූ පූටින් අද පැවැත්වෙන සාමූහික ආරක්ෂක ගිවිසුම් සංවිධාන සමුළුවේදී මෙම ගැටලුව ඉදිරිපත් කරන බව සඳහන් කළේය.
සෙනසුරාදා පූටින් සිය කසකස්ථාන සගයා වන කසිම්-ෂෝමාර්ට් ටෝකයෙව් සමග අතථ්‍ය හමුවක් පැවැත්වූ අතර එහිදී නායකයන් දෙදෙනා ඇෆ්ගනිස්ථානයේ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළහ.
විදේස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඇෆ්ගනිස්ථානයේ සිට අසල්වැසි මධ්‍යම ආසියානු රටවලට සරණාගතයන් යැවීමේ බටහිර රටවල අදහස සම්බන්ධයෙන් පූටින්ගෙන් දැඩි විවේචනයක් එල්ල වෙමින් තිබේ.
"සරණාගතයින්ට මුවාවී ඇෆ්ගන් අන්තවාදීන් අප රටවලට පැමිණීම අපට අවශ්‍ය නැහැ" යනුවෙන් පැවසූ පූටින්, ඇෆ්ගනිස්ථානයෙන් පැමිණෙන සරණාගතයන් පිළිබඳ ගැටලුව සඳහා රුසියානු විදේශ අමාත්‍යාංශය ප්‍රමුඛතාවයක් ලබාදෙන බවද පැවසීය.
ඇෆ්ගනිස්ථානය සමග දේශසීමා බෙදා ගන්නා උස්බෙකිස්තානය, ටජිකිස්තානය සහ ටර්ක්මෙනිස්තානය ඇතුළු සමහර මධ්‍යම ආසියානු රටවල් මෙම අර්බුදයත් සමග තම රට තුළට සරණාගතයන් පැමිණීම ගැන කනස්සල්ල පළ කර තිබේ. ඉස්ලාමීය රාජ්‍ය සටන්කරුවන් සහ අනෙකුත් මූලධර්මවාදීන් මෙන්ම ආගමික අන්තවාදීන් සරණාගතයන්ගේ වේශයෙන් රටවලට ඇතුළු විය හැකි බවට ඔවුහු කනස්සල්ලට පත්ව සිටිති.
උස්බෙකිස්තානයේ සහ අනෙකුත් මධ්‍යම ආසියානු රටවල ස්වදේශිකයන් දහස් ගණනක් අයිඑස් සංවිධානයට සම්බන්ධ වූ අතර තවත් සිය ගණනක් උතුරු ඇෆ්ගනිස්ථානයේ රැකවරණ ලබා ගත් බව අල් ජසීරා වාර්තා කළේය.
උස්බෙකිස්තානය සහ ටජිකිස්තානය වැනි රටවල් තලේබාන් සංවිධානයේ දැඩි මතවාදී ආගමික දෘෂ්ඨීන් ඔවුන්ගේ වත්මන් සමාජ සැකැස්මට බාධා පමුණුවනු ඇතැයි බියට පත්ව සිටිති. පසුගිය සතියේ කාබුල් නුවර තලේබාන් සංවිධානයට යටත් වීමෙන් පසු යුද්ධයෙන් පීඩාවට පත් රටින් පලා යාමට දහස් ගණන් ඇෆ්ගනිස්ථානුවන් දැඩි උත්සාහයන් ගනිමින් සිටියහ.