ඉන්දියාවේ ඇතිවී තිබෙන දැවැන්ත මහජන සෞඛ්‍ය අර්බුදය හමුවේ අගමැති නරේන්ද්‍ර මෝදි මෙන්ම ඉන්දීය පාලක පක්ෂය එරට ජනතාවගේ දැඩි කෝපයට හා චෝදනාවන්ට ලක්වන බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම මෑත සති දක්වා කොවිඩ්-19 හි දෙවැනි රැල්ල ගැන බොහෝ නිහඬ ප්රතිපත්තියක අනුගමනය කර ඇති මෝදි, අපේ‍්‍රල් මාසය පුරා වරින් වර කරන ලද ප්‍රකාශයන් හිදී, භයානක ලෙස ආසාදිතයන් ඉහළ යාම පිළිගත් නමුත්, ආසාදිතයන් පරීක්ෂා කිරීම සහ ලුහුබැඳීම වැඩි කරන ලෙසට ප්‍රාන්ත රජයන්ට නියෝග කිරීම සහ සුපරීක්ෂාකාරීව සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටීම හැර වසංගතය පාලනය කිරීමට කල්තියා පියවර ගැනීමට මන්දගාමී වී තිබේ.
මෝදි අවසන් වශයෙන් මේ ගැන අදහස් දක්වන විට ඉන්දියාව දෛනිකව ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන රට බවට පත්ව හමාරය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, පසුගිය සතිය තුළ ලොව පුරා සිදු වූ නව ආසාදිතයන්ගෙන් 28%කට ආසන්න ප්‍රමාණයක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි.
ඉන්දීයාවේ වසංගත රෝග පිළිබඳ වෛද්‍ය සහ සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ පළමු රැල්ල පහව ගිය පසු මහජනයා තම ආරක්ෂාව අඩු කළ බැවින දෙවැනි රැල්ල ඉතා වේගයෙන් ඉදිරියට ගිය බවයි.
එහිදී මෝදි සහ ඔහුගේ සෞඛ්‍ය ඇමති මෙන්ම කොවිඩ් වසංගතය සම්බන්ධ රජයේ වගකිව යුතු නිලධාරීන්ද රටෙහි ප්‍රකෘතිමත්වීම සමරමින් මෙම ජනතා උදාසීනත්වය තවත් උග්‍ර කළ බවට ඔවුන් චෝදනා කරයි.
විශේෂයෙන්ම සති ගණනාවක් පුරා පැවති හින්දු ආගමික උත්සව සඳහා නායකයින් විසින් ප්‍රාන්ත ගණනාවක සංචාරය කළ අතර, මේ උත්සව වෙනුවෙන් මිලියන සංඛ්‍යාත පිරිසකට ඉදිරියට යාමට ඉඩදෙන ලදී.
මේ තත්ත්වය තුළ පසුගිය සතිය පුරා සමාජ මාධ්‍ය තුළ #ResignModi, #SuperSpreaderModi, සහ #WhoFailedIndia වැනි ජනප්‍රිය හැෂ් ටැග් සමග අගමැති මෝදිගේ සහ ඉන්දීය පාලක පක්ෂයේ පසුබෑම කෙරෙහි ජනතා විරෝධය දැඩිව මතුවෙමින් තිබේ.
එමෙන්ම මෙම වසංගතය මධ්‍යයේ ප්‍රාන්ත හතරක සහ එක් බලප්රදේශයක පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා දහස් ගණනක් සහභාගී වූ දේශපාලන රැලි පැවැත්වීමට මෝදි පිටත්ව යාමත් මෙම මහජන කෝපය උත්සන්න කර තිබේ.
විශේෂයෙන්ම ආසාදිතයන් ඉහළයත්ම, තරගකාරී පක්ෂ කිහිපයක් මැතිවරණ ප්රචාරක මාවතෙන් ඉවත් වුවත්, මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නිවේදනය කළේ සිය දේශපාලන රැලි කුඩා මහජන රැස්වීම්වලට සීමා කරන බවයි.
අවසන් ලෙස මේ සතියේ මෝදි බටහිර බෙංගාලයේ පැවැත්වීමට තිබූ සංචාරය අවලංගු කළේ ඒ වෙනුවට ඉහළ මට්ටමේ කොවිඩ්-19 රැස්වීම්වලට සහභාගී වීම සඳහාය. නමුත් ඒ වනවිටත් ඉස්තාලය වැසුවාට අශ්වයා පිටත්ව ගොස් හමාරය.
එය වඩාත් ප්‍රකට වන්නේ මෝදි සහ භාරතීය ජනතා පක්ෂය මාර්තු සහ අප්‍රේල් මාසවල දේශපාලන රැළි පවත්වා, දැවැන්ත ආගමික උත්සවවලට අවසර දී, වසංගතය කෙරෙහි ඔවුන්ගේ ප්‍රමාදය මොනවාට පිළිබිඹු කරමින්, වඩාත් සුපරීක්ෂාකාරී වන ලෙස මහජනතාවට දුන් පණිවිඩය ඒ වනවිටත් අඩපණ කර තිබූ බැවිනි.
"දැන් සාමාන්‍ය ජනතාවට දොස් පවරනවා. නමුත් අප දුටු දෙය නම් අගමැතිවරයා සැබවින්ම විශාල ජනකායක් එක්රැස් කර ඇති බවයි. ඔවුන්ගෙන් කිසිවෙකු මුඛ ආවරණ පැලඳ සිටියේ නැහැ. දේශපාලන රැළිවල කිසිදු ආකාරයක සමාජ දුරස්ථභාවයක් පැවතියේ නැහැ." මේ අගමැති මෝදි වෙත එල්ලවන ජනතා විරෝධයයි. කෙසේ වෙතත් මෝදි දැන් දුරස්ථව සිදුකරන කොවිඩ්-19 රැස්වීමේදී මුඛ ආවරණයක් පැලඳ සිටිනු දැකිය හැකිය.