අග්නිදිග ආසියාව පුරා රටවල් ගණනාවක් කොවිඩ්-19 ආසාදිතයන්ගේ වැඩිවීම සමග පොරබදමින් සිටින අතර, නව අගුලු දැමීම් සහ දීර්ඝ සංචාරයන් තහනම් කිරීම ආදී පියවර ක්‍රියාත්මක කරමින් සිටියි.
කාම්බෝජයේ ඊයේ (16දා) නව ආසාදිතයන් 344ක් වාර්තා වී ඇති අතර, බොහෝදුරට අගනුවර වන නොම් පෙන් අවට ආසාදන වැඩි බව කියයි. අගනුවර සහ තදාසන්න දිස්ත්‍රික්කයකවල පදිංචිකරුවන් දින 14ක අගුලු දැමීමකට ලක්කර ඇති අතර, රැකියාවට යාම, ආහාර මිලදී ගැනීම හෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා හැර නිවසින් පිටවීම තහනම් කර තිබේ.
පිලිපීනයේ නව ආසාදිතයන් 11,429ක් සහ නව මරණ 148ක් බ්‍රහස්පතින්දා වාර්තා වූ බව පිලිපීන මාධ්‍ය වාර්තා පවසයි. පෙබරවාරි මස අගදී රටේ ආසාදන ඉහළ යාමට පටන් ගත් අතර මැනිලා සහ අවට පළාත් වල ඇඳිරි නීතිය නැවත හඳුන්වා දීමට රජය කටයුතු කරමින් සිටියි.
මැලේසියාවෙන් කොවිඩ්-19 ආසාදිතයන් 2,148ක් බ්‍රහස්පතින්දා වාර්තා වූ අතර එය මාර්තු මස මුල සිට මේ දක්වා වාර්තා වූ ඉහළම දෛනික මුළු ආසාදන සංඛ්‍යාව බව රජයේ ප්රවෘත්ති සේවය පවසයි. රාමසාන් කාලය තුළ අන්තර් රාජ්‍ය ගමන් තහනම රඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය යෝජනා කර තිබේ.
බ්‍රහස්පතින්දා ඉන්දුනීසියාවේ සමස්ත මරණ සංඛ්‍යාව 43,000ක් දක්වා වැඩි වූ අතර, එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1.6ක් පමණ වේ. එනමුදු මිලියන 5.7කට වැඩි ඉන්දුනීසියානු වැසියන්ට පූර්ණ එන්නත ලබාදී ඇති අතර මිලියන 10.5 කට අවම වශයෙන් එක් මාත්‍රාවක්වත් ලැබී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව එන්නත්කරණය පමණක් නොව, තවදුරටත් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, දෑත් සේදීම, සමාජ දුරස්ථතාව ආදී) ජනතාව අඛණ්ඩව නිරතවීමත්, ඒ වෙනුවෙන් රජයන්ගේ පවතින උනන්දුව හා කැපවීමත් වසංගතය පාලනයට අතිශය වැදගත් බව විදෙස් වාර්තා අවධාරණයෙන් පෙන්වා දෙයි.