IS ඉස්ලාම් රාජ්‍ය සංවිධානයේ නායක අබු බකර් අල්-බග්දාදි ඇමෙරිකානු හමුදා ක්‍රියාන්විතයක් අතරේදී සියදිවි නිසාගත් සිදුවීම මේ වනවිට ලෝකයේ වඩාත් කතාබහට ලක්ව ඇති සිදුවීම වෙයි.
පසුගිය පාස්කු ඉරිදා ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව එම ප්‍රහාරයේ වගකීම තම ඉස්ලාම් රාජ්‍ය ත්රස්තයන් විසින් සිදුකළ බවට වගකීම භාරගනිමින් වසර 5කට පසුව කලඑළි පැමිණි බග්දාදි මේ ආකාරයෙන් මරණයට පත්වීම ශ්‍රී ලංකිකයන්ද මහත් උනන්දුවකින් විමසා බැලූ පුවතක් විය.
එක්සත් ජනපද විශේෂ බලකාය යොදාගනිමින් සිදුකර තිබූ මෙම මෙහෙයුමේ විශේෂත්වය වන්නේ, ඒ සඳහා බුද්ධි අංශවල සේවය අතිශය තීරණාත්මක වී තිබූ නිසාය. එහිදී, බුද්ධි තොරතුරු ප්‍රමුඛස්ථානයේ තබා, එක්සත් ජනපද හමුදා බග්ගාදි සොයා සිරියානු භූමිය වෙත ගමන් කර තිබුණි. එම මෙහෙයුම සිදුවූයේ මෙසේය.
මෙහෙයුම ගැන ට්‍රම්ප් කියයි
රූපවාහිනිය ඔස්සේ ප්‍රකාශයක් කරමින් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කළේ, ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් හමුදා විසින් 'සිරියාවේ වයඹ දිග ප්‍රදේශයේ රාත්‍රී කාලයේ ක්‍රියාත්මක කළ අනතුරුදායක මෙහෙයුමක්' අතරතුර 'ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී නායකයා' ජීවිතක්ෂයට පත්වූ බවය.
සෙනසුරාදා දිනයේදී වොෂිංටන් අගනුවර පිහිටි හෙළි නොකළ ස්ථානයකින් පස්වරු 5.00න් පසු විශේෂ හමුදා ප්‍රවාහනය කළ හෙලිකොප්ටර් යානා පිටත් වූ බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය. ඒ අවස්ථාවේ ඔහු සහ සෙසු නායකයන් ධවල මන්දිරයේ හදිසි අවස්ථා කතා කෙරෙන විශේෂ කාමරයේ රැදී සිටි බව පැවසූ ට්‍රම්ප, භූමියේ මෙහෙයුමට පැය දෙකක් පමණ ගත වූ බව සඳහන් කළේය.
ඇමෙරිකානු බලධාරීන් එරට මාධ්‍ය වෙත පවසා තිබුණේ පසුගිය 27දා (ඉරිදා) දිනයේ අලුයම් කාලයේ ඇමෙරිකානු විශේෂ හමුදා බළකාය සිරියාවේ තුර්කි දේශ සීමාවේ සිට කිලෝ මීටර් 5ක් දකුණින් පිහිටි ඉඩ්ලිබ් පළාතේ බැරීෂා ගම්මානයෙන් පිටත පිහිටි කුඩා පරිශ්‍රයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කළ බවය.
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට එරෙහි විපක්ෂයේ අවසාන බලකොටුව ඉඩ්ලිබ් විය. එම කලාපයේ බලය IS සංවිධානයට ප්‍රචණ්ඩකාරී ලෙස විරෝධය දැක්වූ ජිහාඩ් සන්ධානයක් සතුව පැවතියද, එම ප්‍රදේශයේ IS සාමාජිකයන් සිය ගණනක් රැඳී සිටි බව විශ්වාස කෙරිණි. රුසියානු සහාය සහිත සිරියානු යුද්ධ හමුදාව එම ප්‍රදේශයේ නැගෙනහිර, බටහිර සහ දකුණු ප්‍රදේශයන්හි රැකවල් ලා සිටියහ.
කවදා කෙසේ මෙහෙයුම සිදුවීද?
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, මෙහෙයුම දියත් කිරීමට පෙර සති කිහිපයක් පුරා ඇමෙරිකානු බුද්ධි අංශ බග්දාදි පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණය කළ බවය. එම නිරීක්ෂණවලදී අනාවරණය වී තිබුණේ, ඔහු සැගවී සිටි පරිශ්‍රයේ උමං මාර්ග විශාල සංඛ්‍යාවක් පැවති අතර ඉන් වැඩි සංඛ්‍යාවක් අනෙක් පස විවර නොවූ ඒවා බවය.
ඒ අනුව, හෙලිකොප්ටර් යානා 8ක්, තවත් නෞකා සහ ගුවන් යානා රැසක් සමගින් විශේෂ බළකා සාමාජිකයින් 'විශාල කණ්ඩායමකින්' සමන්විත වූ මෙහෙයුමකට ජනාධිපතිවරයා සෙනසුරාදා අවසර දුන්නේය.
හෙලිකොප්ටර් යානා තුර්කිය හරහා මෙන්ම සිරියානු සහ රුසියානු හමුදා විසින් පාලනය කරනලද භූමිය හරහා පියාසර කර තිබිණි. ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසූ පරිදි වැටලීමේ අරමුණ නොපැවසූවද රුසියාවේ සහාය ලැබුණු අතර, ඔවුන් ඒ සඳහා ගුවන් අවකාශය 'විවෘත' කර තිබිණි.
"පිටත සහ ඇතුළත සිදුවුණු සටන් ඉතාම අනතුරුදායකයි. අපට හිතාගන්න බැරි තරමේ වෙඩි ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබුණා. ඒ නිසා අපි අවස්ථානුකූලව ඉතා පහළින් මෙන්ම ඉතා වේගයෙන් අපේ යානා පියාසර කළා" යැයි ඔහු පැවසීය.
අදාළ ස්ථානය වෙත හෙලිකොප්ටර් යානා ළඟා වනවිට 'වෙඩි ප්‍රහාරයක්' එල්ල වූ අතර එය 'වහා මැඬපැවැත්වූ' බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
බැරීෂාහි ගම් වැසියෙකු පවසා තිබුණේ ඇමෙරිකානු හමුදා භූමියේ ක්‍රියාත්මක වීමට පෙර මිනිත්තු 30ක් පමණ හෙලිකොප්ටර් යානාවල සිට වෙඩි ප්‍රහාර එල්ල කළ බවය. හෙලිකොප්ටර් යානාවලින් නිවාස දෙකක් ඉලක්ක කර එල්ල වූ මිසයිල ප්‍රහාර දෙකකින් එක් නිවසක් සුණුවිසුණු වී ගිය බව ඔහු පැවසීය.
ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවේ උගුල් අටවා තිබූ හෙයින් හෙලිකොප්ටර් යානා ගොඩබැස්වීමෙන් පසු විශේෂ හමුදා බළකායේ සාමාජිකයන්, එහි බිත්ති සිදුරු කර ඊට ඇතුළු වී ප්‍රධාන දොරටුවේ අටවා තිබූ උගුල් ඉවත් කළ බව ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
ජනාධිපතිවරයා පැවසුවේ, "කෑගසමින් හඬමින් විවරයක් නැති උමගක් තුළට දිව යාමෙන් අනතුරුව" බග්දාදි ජීවිතක්ෂයට පත්වූ බවය.
"ඒ මොහොතේ වෙඩි වැදුණු සහ ජීවිතක්ෂයට පත්වුණු මෙන්ම භාර වුණු පුද්ගලයින් එම ස්ථානයෙන් ඉවත් කර තිබුණා. නිවසේ සිටි දරුවන් 11 දෙනෙක් තුවාල රහිතව ඉවතට ගත්තා. ඊට පස්සේ උමගේ ඉතිරි වෙලා හිටියේ බග්දාදි සහ ඔහු විසින් මරණය කරා රැගෙන යන ලද දරුවන් තිදෙනෙක් පමණයි" ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීය.
"අපේ ආරක්ෂක සුනඛයින් ඔහු පසුපස හඹා යද්දී උමගේ අවසානයට ආවා. ඒ වෙලාවේ ඔහු මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවාගෙන ඔහු සමග සිටි දරුවන් තිදෙනාත් සමග සිය දිවි නසා ගත්තා. ඔහුගේ මළ සිරුර එමනිසා විකෘති වෙලා තිබුණා."
විනාශ වුණු ගොඩනැගිල්ලක සුන්බුන් සහ වෙඩි උණ්ඩ වැදුණු සිදුරු සහිත ගිනිබත් වූ මිනි බස් රථයක් ඇමෙරිකානු හමුදා මෙහෙයුමෙන් පසු රූපගත කළ ඡායාරූප සහ වීඩියෝවල දැක්විණි.
බග්දාදිගේ මරණය තහවුරු වූ හැටි
මෙහිදී, ඩොනල්ඩ් ට්‍රම්ප් වැඩිදුරටත් පැවසුවේ, උමග තුළදී පුපුරුවා ගැනීමකින් මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඔහු බග්දාදි බව නිශ්චිතව හදුනාගෙන ඇති බවය.
"ඒ වේගවත් ව කෙරුණේ ඔහු ජීවිතක්ෂයට පත්වීමෙන් මිනිත්තු 15කට පමණ පසුවයි."
විශේෂ බළකායේ නිලධාරීන් සමග ගොස් සිටි තාක්ෂණික නිලධාරීන් එම ස්ථානයේදීම අදාළ පරීක්ෂණ සිදුකළ අතර බග්දාදිගේ DNA සාම්පල ඔවුන් සතුව තිබූ බව ජනාධිපතිවරයා පැවසීය. ට්‍රම්ප් පවසන පරිදි තාක්ෂණික නිලධාරීන් බග්දාදිගේ ශරීරයේ 'වැදගත් කොටස්' නැවත හෙලිකොප්ටර්වලින් රැගෙන විත් තිබේ.
මෙහෙයුමේදී මියගිය සෙසු පිරිස්
"මෙහෙයුම අතරතුර කිසිම ඇමෙරිකානුවකුගේ ජීවිත අහිමි වුණේ නෑ. බග්දාදි සමග ඔහුගේ සටන්කරුවන් සහ සගයින් විශාල සංඛ්‍යාවක් මිය ගියා" යැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේය.
මිය ගිය පුද්ගලයින් අතර බග්දාදිගේ බිරියන් දෙදෙනක් වූහ. ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, එම කාන්තාවන් දෙදෙනාම මරාගෙන මැරෙන ඇඳුම් ඇඳ සිටියද, ඒවා පුපුරා නොගොස් තිබිණු බවය. කෙසේ වෙතත්, බග්දාදි මිය ගිය උමග තුළදී ඇමෙරිකානු ආරක්ෂක සුනඛයෙකු තුවාල ලබා තිබිණි.
මෙම මෙහෙයුමේදී අල්ලා ගනු ලැබූ IS සාමාජිකයින් හෝ දරුවන් තුවාල ලබා තිබූ බවට පැහැදිලි වී නොමැත. ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ, IS සටන්කරුවන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටින අතර දරුවන් 'යමෙකුගේ භාරයේ තබා ඇති' බවය. ඔවුන් කවුරුන් භාරයේ සිටීද යන්න ට්‍රම්ප් හෙළි කළේ නැත.
බග්දාදි ඉඩ්ලිබ් ප්‍රදේශයේම සිටියේ ඇයි?
බග්දාදි සැගවී සිටි බවට විශ්වාස කළ ඉඩ්ලිබ්හි බැරීෂා ප්‍රදේශය සිරියානු සහ ඉරාක දේශ සීමාවේ සිට කිලෝමීටර් සිය ගණනක් ඈතින් පිහිටා තිබේ. ට්‍රම්ප් කියා සිටියේ ඇමෙරිකානු සහාය ලැබූ කුර්දි හමුදා විසින් මාර්තු මාසයේදී නැගෙනහිර සිරියාවේ ගම්මානයක් වන බාඝස් ආශ්රිත ප්‍රදේශය අත්පත් කර ගැනීමෙන් පසුව IS සංවිධානය නැවත ගොඩනැගීමේ බලාපොරොත්තුවෙන් බග්දාදි ඉඩ්ලිබ්හි සිටි බවය.
"ඔහු එම ප්‍රදේශයට පැමිණීමට හේතුව එයයි. IS සංවිධානය යළි ගොඩනගන්න තිබුණ හොඳම ප්‍රදේශය එයයි" ජනාධිපතිවරයා පැවසීය.
මේ අතර, මෙම රහසිගත මෙහෙයුමේදී බග්දාදිගේ අනාගත සැලසුම් පිළිබඳ වැදගත් බුද්ධි තොරතුරු සොයාගත් බවත්, IS නායකත්වය භාර ගන්නා ඕනෑම අයෙකු පසුපස ඇමෙරිකාව ලුහුබැඳ යන බවත් ට්‍රම්ප් සඳහන් කළේය.
"අපි දන්නවා ඊළඟට නායකත්වයට පත්වෙන්නේ කවුද කියලා. අපි මේ වනවිටත් ඔවුන් ගැන ඇහැ ගහගෙනයි ඉන්නේ."
මේ අතර, IS සංවිධානයේ නව නායකයා ලෙස අබ්දුල්ලා ක්වාර්ඩාෂ් නමැත්තෙකු පත්ව ඇති බව එම ත්‍රස්ත සංවිධානයේ වාර්තා සඳහන් කළේය.