චීනයේ කැන්සිනෝ බයෝලොජික්ස් සමාගම සිය තනි මාත්‍රාවේ කොවිඩ්-19 එන්නත, COVAX හෙවත් ගෝලීය එන්නත් ප්‍රවේශ වැඩසටහන වෙත එන්නත් මාත්‍රා මිලියන ගණනකින් සැපයීමට යෝජනා කර ඇති බව කැන්සිනෝ හි ජ්‍යෙෂ්ඨ උප සභාපති උපුටා දක්වමින් විදෙස් වාර්තා පවසයි.
කැන්සිනෝ හි ජ්‍යෙෂ්ඨ උප සභාපති පියරේ මෝගන් පවසා ඇත්තේ 2021 අග සිට 2022 අවසානය දක්වා කාලය තුළ එන්නත් සැපයීම සඳහා සමාගම විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බවය. එසේ කිරීමට තවදුරටත් අවශ්‍යතා පවතින්නේ නම් 2022 න් ඔබ්බටද පහසුකම් සැලසීමට සූදානම් බව ඔවුන් පවසා තිබේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිටුබලය ඇතිව සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා වන මුලපිරීමක් වන COVAX වෙත පිරිනැමීමට යෝජනා කර ඇති කැන්සිනෝ එන්නත චීනයෙන් පිටත වෙළෙඳ පොළ වෙත කැන්සිනෝ භාවිත කරන අඩුම මිලක් ලබාදී ඇති බවද එම සමාගම වැඩිදුරටත් පවසා තිබේ.