ගෝලීය කොවිඩ්-19 ආරක්ෂණ එන්නත් බෙදාහැරීමේ COVAX පහසුකම යටතේ අයිවරි කෝස්ට් රාජ්‍යය වෙත නැව්ගත කරන ලද එන්නත් තොගය ඊයේ (26දා) එරටට ලැබී තිබේ.
ඒ අනුව ඝානාවට පසුව COVAX පහසුකම යටතේ එන්නත් මාත්‍රාවන් ලැබූ දෙවැනි රට බවට අයිවරි කෝස්ට් පත්ව තිබේ.
ඔක්ස්ෆර්ඩ් - ඇස්ට්‍රාසෙනෙකා එන්නත් මාත්‍රා 504,000ක් රැගෙන ආ ගුවන් යානයක් එරට වාණිජ අගනුවර වන අබීඩ්ජාන් වෙත ළඟා වී තිබුණි.
ඒ අනුව බටහිර අප්‍රිකානු රාජ්‍යය ලබන සතියේ එන්නත් කිරීමේ ව්‍යාපාරයක් දියත් කරනු ඇත. එහිදී ඉදිරි පෙළ සෞඛ්‍ය වෘත්තිකයන් සහ අත්‍යවශ්‍ය ව්‍යාපාරවල සේවකයින් එන්නත ලබා ගන්නා පළමු කණ්ඩායම වේ.
මෙම වසර අවසන් වනවිට අඩු හා මධ්‍යම ආදායම් ලබන රටවල් 90කට අධික සංඛ්‍යාවක් සඳහා එන්නත් මාත්‍රා බිලියන දෙකකට ආසන්න ප්‍රමාණයක් ලබාදීමට COVAX සැලසුම් කරයි.
හොන්ඩුරාස් සහ නයිජීරියාව ඇතුළු රටවල් කියා සිටියේ මාර්තු මාසයේදී මෙම වැඩසටහනෙන් එන්නත් ලැබෙනු ඇතැයි කියා අපේක්ෂා කරන බවයි.