තුන්වැනි කොවිඩ්-19 රැල්ලකට එරෙහිව සූදානම් වන ලෙස ඉන්දියාවේ ධනවත්ම ප්‍රාන්තයේ සෞඛ්‍ය විශේෂඥයන් බලධාරීන්ට අනතුරු අඟවනු ලැබුවේ, දහස් ගණනක් වෛරසයෙන් ජීවිතක්ෂයට පත්ව මාසයකටත් වඩා අඩු කාලයකදී බලධාරීන් විසින් ලෝක්ඩවුන් සීමා ඉවත්කිරීම ගැන අවධානය යොමු කරවමිනි.
ඉන්දියාවේ දෙවැනි වැඩිම ජනගහනය සහිත මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය ඇතුළු මුම්බායි මූල්‍ය අගනුවර, නැවත විවෘත කිරීමට බලධාරීන් තීරණය කළේය. ඒ අනුව වෙළෙඳ සැල්, සිනමාහල් සහ කාය වර්ධන ශාලා 50%ක ධාරිතාවයකින් සහ කාර්යාලවල කාර්ය මණ්ඩල පැමිණීමේ සීමාවෙන් නිදහස් කිරීම මෙන්ම, නගරවල පැවති බොහෝ සීමාවන් මේ සතියේ ඉවත් කිරීමක් සිදුවිය.
"අපට පැහැදිලි සැලැස්මක් තිබිය යුතුයි. ඊළඟ රැල්ලක් පැමිණෙන සෑම අවස්ථාවකම අපගේ සැලැස්මක් සූදානම්ව තබා ගත යුතුයි" රජයේ කොවිඩ් කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු සහ මුම්බායි හි ෆෝටිස් රෝහලේ අධ්යක්ෂ රාහුල් පණ්ඩිත් පැවසීය. "අපගේ උත්සාහයන් යොමු කළ යුත්තේ අපට හැකි තරම් ආසාදන රැල්ල ප්‍රමාද කිරීම සඳහායි. ඒ වගේම එවැනි ආසාදන රැල්ලක් වළක්වා ගැනීමට පවා බලවත්ව උත්සාහ කළ යුතුයි."
වෛද්‍ය විශේෂඥයන්ගේ මත විමසුමකින් පෙන්නුම් කළේ ඔක්තෝබර් වනවිට තුන්වැනි ආසාදන රැල්ලක් ඉන්දියාවට පැමිණීමට ඉඩ ඇති බවය. එය අවසන් වරට ඇති වූ පැතිරීමට වඩා යම් පාලනයක් සිදුකළ හැකි වුවත්, වසංගතය අවම වශයෙන් තවත් වසරක්වත් මහජන සෞඛ්‍ය තර්ජනයක් ලෙස පවතිනු ඇති බවට ඔවුන් අනතුරු ඇඟවීය.
ඉන්දියාවේ දෙවැනි රැල්ලේ කේන්ද්‍රස්ථානය වන මහාරාෂ්ට්‍ර තවමත් එයින් සම්පූර්ණයෙන් මිදී ඇතැයි අපේක්ෂා කළ නොහැකි බව රාහුල් පණ්ඩිත් පැවසීය. පසුගිය අපේ‍්‍රල් මස මුලදී ලොක්ඩවුන් කිරීමෙන් පසුව පවා එහි සෞඛ්‍ය සේවා පහසුකම් කඩාවැටීමකට ලක්වූයේ අගුලු දැමීමට ප්‍රමාද වීමත්, නිවැරදි සැලැස්මක් නොතිබීමත් නිසාය.
ඒ අනුව මේ වනවිට වෙළෙඳ සැල් සහ වීදිවල විශාල ජනකායක් ඉන්දියාව තුළ දැකිය හැකි අතර, මහජන සෞඛ්‍ය පුරුදු යළිත් අමතකව ඇති බවක් දැකිය හැකිය. කෙසේ වෙතත් ඉන්දියාව පසුගිය පැය 24 තුළ නව ආසාදන 62,480ක් සිකුරාදා වාර්තා කළ අතර, මරණ 1,587ක් වාර්තා කළේය. එසේම ඉන්දියාව, බ්‍රසීලය සමග දින හතක වැඩිම සාමාන්‍ය මරණ වාර්තා කරන රටවලින් එකකි.
එසේම ගෙවීගිය දිනයේ නව ආසාදන 9,830ක් වාර්තා කර ඇති මහාරාෂ්ට්‍රයේ ඉන්දියාවේ සමස්ත ආසාදන මිලියන 29.76න් පහෙන් එකක් පමණ වේ. එහි මරණ සංඛ්‍යාව 116,000ක් ඉක්මවයි.
නවදිල්ලියේ අගනුවර සිට දකුණු තාක්ෂණික කේන්ද්‍රස්ථානය වන බෙංගාලුරුව දක්වා නගරවල වීදි ජනයාගෙන් පිරී ඉතිරී ගිය නමුත්, විශේෂඥයන් අනතුරු ඇඟවූයේ ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීමේ තරගය සැබෑ ලෙසින්ම එන්නත් කිරීමේ ප්රයත්නයන් අඩපණ කළ හැකි බවටය.
"රජයට දිනකට එන්නත් මාත්‍රා මිලියන 10ක ඉලක්කයක් කරා එන්නත ලබාදිය යුතුයි. එන්නත් ලබාගැනීමට මහජනතාව පැකිලීම මඟහරවා ගැනීම සඳහා එන්නත ලබාගැනීමේ වාසි පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට හොඳ වැඩපිළිවෙළක් අවශ්‍යයි" ඉන්දියාවේ පුද්ගලික සෞඛ්‍ය සේවා සමූහයක් වන නේතෙල්ත් හි සභාපති හර්ෂ් මහජාන් පැවසීය.
ලොව විශාලතම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාව වුවද, එරට එන්නත් කිරීමට සමත් වී ඇත්තේ සුදුසුකම් ලත් එන්නත් ලාභීන් මිලියන 950න් 5%කටත් වඩා සුළු ප්‍රතිශතයකට පමණි.