මෑත ඉතිහාසයේ ප්‍රංශයේ සිදු වූ මාරාන්තිකම ප්‍රහාරය වන 2015 නොවැම්බර් 13 වැනි දින පැරීසිය පුරා සිදුවූ ජිහාඩ් ප්‍රහාරයකට සම්බන්ධ සැකකරුවන් 20දෙනෙකු විනිශ්චය කිරීම සඳහා වූ පෙර නොවූ විරූ නඩු විභාගයක් හෙට සිට ඉහළ ආරක්ෂාව යටතේ ආරම්භ වීමට නියමිතය.
මරාගෙන මැරෙන ඇඳුම් ඇඳගත් ජිහාඩ් තුවක්කුකරුවන් විසින් බාර් සහ අවන්හල් 6ක්, බැටක්ලැන් ප්‍රසංග ශාලාව සහ ක්‍රීඩාංගනයක් ඉලක්ක කර ගනිමින් 130දෙනෙකු පමණ සාහසික ලෙස මරා දමමින්, තවත් සිය ගණනක් තුවාල ලැබුවේ ප්‍රංශ ජාතිය තුළ ගැඹුරු වේදනාවක් ඉතිරි කරමිනි.
"එම රාත්‍රිය අප සියල්ලන්ම භීතියටත් හා අතිශය පිළිකුලකටත් ඇද දැමුවා" ප්‍රසංග ශාලාවේදී මරා දැමුණු ජීන් පියර් ඇල්බර්ටිනිගේ පුත් 39 හැවිරිදි ස්ටෙෆේන් අතීතය සිහිපත් කළේය.
ඒ අනුව මෙම නඩු විභාගය පැවැත්වෙන මධ්‍යම පැරීසියේ දූපතකින් වටවූ උසාවිය අවට පොලිසිය දැඩි විමසිල්ලෙන් තබා ඇති අතර, ඒ අවට මෝටර් රථ සහ පදිකයින්ට වීදිවල ගමන් කිරීම තහනම් කර තිබේ. එමෙන්ම ආසන්නතම බැංකුද වසා දමා ඇති බව කියයි.
නඩු විභාගය සඳහා සහභාගී වීමට අවසරදී ඇති අයට විශේෂයෙන් ඉදිකරන ලද අධිකරණ ශාලාවක සහ නඩු විභාගය විකාශන කෙරෙන වෙනත් කාමරවල රැඳී සිටීමට අවසර දීමට පෙර මුරපොලවල් රැසක් හරහා යාමට සිදුවන බවද කියයි.
මෙම නඩු විභාගය මාස 9ක් පුරා පැවැත්වෙන අතර, පෙර නොවූ විරූ අධිකරණ මැරතන් තරගයක් ලෙස අධිකරණ ඇමති එරික් ඩුපොන්ඩ් මොරෙටි හඳුන්වාදී තිබේ. එහිදී නඩු විභාගවලට පැමිණිලිකරුවන් 1,800ක් පමණ සහ නීතිඥයන් 300කට වැඩි පිරිසක් සහභාගී වේ. තීන්දුව එලැඹෙන මැයි මස අගදී බලාපොරොත්තු වේ.
ප්‍රහාර සිදුකළ බවට සැක කෙරෙන කණ්ඩායමේ දැනට දිවි ගලවා ගත් එකම සාමාජිකයා යැයි සැලකෙන 31 හැවිරිදි ප්‍රංශ මොරොක්කෝ ජාතික සලා අබ්දෙස්ලාම් ඇතුළු බොහෝ විත්තිකරුවන් වරදකරුවන් වුවහොත් ඔවුන්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳීමට සිදුවනු ඇත.
මෙම ම්ලේඡ ප්‍රහාරයේ වගකීම ඉස්ලාමීය රාජ්‍යය විසින් භාරගෙන ඇති අතර, ඉරාකයේ සහ සිරියාවේදී කණ්ඩායමට එරෙහි සටනට සම්බන්ධ වීම හේතුවෙන් ප්‍රංශයට පහර දෙන ලෙස සිය අනුගාමිකයින්ගෙන් ඉල්ලා සිටි බව කියා සිටියේය.