Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
2024 දෙසැම්බර් මස 13 වන සිකුරාදා
යහපාලන ආණ්ඩුවට වසර තුනක් ගතවීමෙන් පසුව රට පුරා වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා ව්‍යාපෘතියක් දියත් කිරීමට ආණ්ඩුව සූදානම් වන අතර, වයඹට ජලය ලබාදීමේ වයඹ ඇළ සකස්කිරීමේ ව්‍යාපෘතියක්ද ආරම්භ කිරීමට ආණ්ඩුව සූදානමින් සිටියි.
සිකුරාදා ඇරඹෙන මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මාධ්‍ය සහෘදයන් දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රී කැඳවා තිබුණේ අඟහරුවාදාය. ඒ ජනාධිපති මන්දිරයේදීය. මාධ්‍ය ප්‍රධානීන් මෙන්නම මාධ්‍යවේදීන්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, මෙහිදී මොරගහකන්ද කළුගග ව්‍යාපෘති පිළිබඳව සහ ඉදිරියට සිදුකිරීමට යන වාරි ව්‍යාපෘතිය පිළිබඳව හැඳින්වීමක් ජනාධිපති මන්දිරයේ නිලධාරීන් විසින් සිදුකළ අතර, පසුව සකච්ඡා වටයට ජනාධිපති මෛත්රීද එක්විය.
මෙම ව්‍යාපෘති සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විවිධ ප්‍රශ්න ඇසූ අතර, ජනාධිපති මෛත්‍රී ඒවාට පිළිතුරු දුන්නේය. මේ අතර එක් මාධ්‍යවේදියෙකු එම ව්‍යාපෘතියෙන් පිටත ප්‍රශ්නයක් ඇසුවේය. එවිට ජනාධිපති මෛත්‍රී එයට පිළිතුරු දුන්නේ මෙසේය.
‘අද අපි ඔබතුමාලට එන්න කිව්වේ මොරගහකන්ද කළුගඟ, වයඹ ඇළ ආදිය ගැන කතාකරන්න. ඔබතුමා දැන් වෙන ප්‍රශ්නයක් අහනවා. ඔබතුමාගේ ප්‍රශ්නයට වෙන වෙලාවක් දාගත්තොත් ඒවාට උත්තර දෙන්න පුළුවන්. නැත්නම් හෙට පත්තරවල ලොකුවට වෙන වෙන දේවල් තියෙයි. ඒ නිසා අපි අපේ මාතෘකාවට යමු කියලා ඉල්ලනවා.’ ඒ අනුව නැවතත් සාකච්ඡාව වාරි ව්‍යාපෘතිය දෙසට යොමුවිය.
‘ජනාධිපතිතුමා ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති ගැන කළුපැල්ලමක් තියෙනවා. ඒ ඒවායින් කොමිස් ගන්නවා කියන එක. ඉදිරි ව්‍යාපෘතිවල වංචා දූෂණ නැතිව කරන්න සැලසුමක් තියෙනවාද?’ යනුවෙන් තවත් මාධ්‍යෙව්දියෙකු ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.
‘මේ වසර තුන හමාරේදී ව්‍යාපෘති කරගෙන යද්දී කිසිම තැනක වංචා දූෂණ සිදුවෙනවා කියලා කිසිම පැමිණිල්ලක් ආවේ නැහැ. වංචා දූෂණ විමර්ශන සිදුවෙනවා නම් ඒ ගැන දැනුවත් කරන්න මම වෙනම ඒකකයක් හදනවා කියලා කිව්වා. දැන් ඒක හදලා තියෙන්නේ.’ යනුවෙන් පවසමින් ජනාධිපති මෛත්‍රී එයටද පිළිතුරු දුන්නේය.
වයඹ ඇළ ගැන තවත් මාධ්‍යෙව්දියෙකු ප්‍රශ්නයක් ඇසූ අතර ජනාධිපති මෛත්‍රී එයට පිළිතුරු දීමේදී ජනවාරි 08 ගැන කතාවක්ද කීවේය.
‘මහවැලි ව්‍යාපාරයේ මාස්ටර් ප්ලෑන් එකෙන් දැන් අපි පිට පැනලා ඉන්නේ. වයඹ ඇළ ඒ මාස්ටර් ප්ලෑන් එකේ නැහැ. මොරගහකන්ද යෝද ව්‍යාපෘතියෙන් මහවැලි මාස්ටර් ප්ලෑන් එක ඉවර වුණා. අපි මහ සැලැස්මෙන් පැනලා යන්නේ. ජනතාවට තියෙන ප්‍රශ්න හොයාගෙන ඒවට විසඳුම් දෙන්නයි අපි මේ හදන්නේ.
ඒ ගැන කියද්දී තව එකදෙයක් කියන්න ඕන. ජනාධිපතිවරණය ඉවරවෙලා, මම ජනාධිපති ධුරයට පත්වෙලා, දිවුරුම් දීලා පහුවදා මාව ජනාධිපති ධුරයට පත්කරපු පක්ෂ සංවිධාන හතළිස් ගානක සංවිධායකයෝ වාඩිවෙලා මගෙන් ඇහුවා මොනවද ඔබතුමාට අවශ්‍ය අමාත්‍යාංශ කියලා. ජනාධිපති ධුරයට ආරක්ෂක අමාත්‍යාංශය තිබෙනවා ඊට අමතරව ඔබතුමා භාරගන්න කැමති අමාත්‍යාංශ මොනවද කියලා ඇහුවා. මම තත්පරයක්වත් කල්පනාකරන්නේ නැතිව එක පාරටම කිව්වේ මහවැලි, පරිසර මට ඕන කියලායි. වරාය, පෙට්ට්‍රෝලියම්, විදුලිබල, ඒවා මට කියන්න තිබුණා. නමුත් මගේ ඇඟේ ඒවා නැහැ. කරදිය මිරිදිය ගත්තාම මෙතෙන ඉන්න ගොඩක් අය කරිජ්ජ පැගිච්චි අය. එත් මම කරිච්ච පැගුණ කෙනෙක් නෙවෙයි. මිරිජ්ජ පෑගුණ කෙනෙක්. වැව්වල වතුර පැගුණ කෙනෙක් මම. මේ වගේ වැඩක් කරද්දී ඒ විෂය තමන්ගේ ඇඟේ තියෙන්න ඕන. මගේ ඇඟේ මේ දේවල් තියෙනවා.’
‘ඔබතුමා කියනවා අපි කෘෂිකාර්මික රාජ්‍යයක් ලෙස ඉදිරියට යා යුතුයි කියලා. සම්මුතිවාදී ආණ්ඩුවේ ප්‍රධාන හවුල්කාර පක්ෂය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සමග කොයිතරම් දුරට එය ගැළපෙනවද?’ එයට මෛත්‍රීගේ පිළිතුර වුයේ මෙවැන්නකි
‘එයාලගේ ප්රතිපත්තිවල ඒගොල්ලෝ වැඩකරනවා. මගේ ප්‍රතිපත්තියේ මම මේ වැව් ටික හදනවා.’
‘දැන් එහෙනම් ප්‍රශ්න ඇහුවා ඇති . ඔබතුමාලට රෑ කෑම ලැස්ති කරලා තියෙනවා අපි කන්න යමු නේද කියමින් ඒ සමගම මෛත්‍රී සාකච්ඡාව අවසන් කළේය.
අගමැති රනිල්ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් සංවිධායකවරුන්ගේ හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත් වුණේ බදාදා පස්වරුවේදීය. කොළඹ දිස්ත්‍රික්කයේ පාරිලිමේන්තු මැති ඇමතිවරුන් මෙන්ම පළාත් සභා නියෝජිතයෝද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ඉදිරි පළාත් සභා මැතිවරණය පිළිබඳ දීර්ඝ සාක්ච්ඡාවකින් අනතුරුව ඉදිරි සැලැස්ම පිළිබඳවද දැනුම්දීමෙන් පසුව අගමැති රනිල් නැගී සිටියේ ‘මාලිනී ෆොන්සේකාගේ උත්සවයක් තියෙනවා. දැන් මම ඒකට යන්න ඕන. නොගියොත් හරි නැහැනේ’ කියමිනි. මාලිනී ෆොන්සේකාගේ සිනමා දිවියට වසර 50ක් පිරීම නිමිත්තෙන් සිදුකෙරෙන මාලිනී අභිනන්දන උත්සවය ගැන පවසමින් අගමැති එසේ කීවේය. අගමැති රනිල් එසේ කියන විට සරසවි සම්මාන උළෙලේ පූජා උමාෂංකර් නිළිය අගමැති රනිල් සිපගත් අවස්ථාව මතක් කරමින් අසල සිටි සංවිධායකවරයෙකු පැවසුයේ ‘අගමැතිතුමා මාලිනීත් පූජා වගේ වෙයිද’ කියාය. එවිට අගමැති රනිල් පැවසූයේ ‘නැහැ එහෙම වෙන්නේ නැහැ. එයා පූජා වගේ නෙවෙයි. දැන් වයසයිනේ’ කියාය.
සඳුදා ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූයේ ලබන සැප්තැම්බර් මාසයේ සිදුකිරීමට නියමිත සුනාමි පෙරහුරුවකට අදාළවය.
සාකච්ඡාවේ සියලු කටයුතු නිමාවීමෙන් අනතුරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරීන් රාජ්‍ය ඇමති පාලිත රංගේ බණ්ඩාරගෙන් විශේෂ ඉල්ලීමක් කරමින් ඉල්ලා සිටියේ
මෙම සුනාමි පෙරහුරුව පිළිබඳ නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම නිසි ලෙස දැනුම්වත් කරන ලෙසයි.
මීට ඉහතදී මාතලේ ප්‍රදේශයේ පැවැති ආපදා පෙරහුරුවකදී නියෝජ්‍ය අමාත්‍යවරයා නොදැනුවත්ව ක්‍රියා කිරීම හේතුවෙන් ඇති වූ සිද්ධිය පදනම් කර ගනිමින් ඔවුහු මෙම ඉල්ලීම සිදු කළහ.
නිලධාරීන්ගේ ඉල්ලීමට සිනහසී පාලිත රංගේ බණ්ඩාර ඔහුට දුරකථන ඇමතුමක් ගත්තේය.
‘ හෙලෝ මල්ලි වැඩකඩද?....’ රංගෙ බණ්ඩාර විමසීය
‘අපි ඉතින් නිතරම ඔන්ලයින්නේ අයියා....’ තෙවරප්පෙරුම පිළිතුරු දුනි.
‘මේ මල්ලි විශේෂ කාරණයකට ගත්තේ.....’
‘ මොකක්ද පාලිත අයියා.....’
‘ පාලිත මල්ලි අපි ළඟදී සුනාමි පෙරහුරුවක් කරන්න යන්නේ. අගමැතිටත් කලින් ඔයාට කියන්නේ.....’ යැයි රංගේ බණ්ඩාර කීවේය
උස් ස්වරයෙන් සිනාසුණු තෙවරප්පෙරුම පැවසුවේ ‘ මමත් එහෙනම් විශේෂ පුද්ගලයෙක් නේද...’ අයියා යැයි කියාය.
‘මේ මල්ලි ඕක දැන්ම දින පොතේ ලියා ගන්න. ඔන්න දවස සැප්තැම්බර් 05 හොඳේ යැයි...’ රංගේ බණ්ඩාර සිනාමුසු මුවින් අවධාරණය කළේය.
‘හරි.... හරි... දැන් මොකක්ද මගෙන් වෙන්න ඕන..05 යැයි විමසූ තෙවරප්පෙරුමට රංගේ බණ්ඩාරගේ පිළිතුර වූයේ ගොඩක් දේ තියෙනවා හමුවෙලා කතා කරමු, යන්නයි
එදා මාර සීන් එකනේ වුණේ. එහෙම දේවලුත් වෙනවා ඉතින් ගණන් ගන්න එපා. යැයි කියමින් දෙදෙනා දුරකථන සංවාදයට සමු දුන්නේය.
පාලිත රංගේ බණ්ඩාර දුරකතන ඇමතුම නතර කළේ හිත හොඳ මනුස්සයා යනුවෙන් කාටත් ඇහෙන පරිදි පවසමිනි.
බදාදා සිරිකොත මාධ්‍ය හමුවට පැමිණි ඇමති හරින් කීවේ ආණ්ඩුව විසින් සිදු කරනු ලබන වැඩ කන්දරාව පිළිබඳ රාජපක්ෂ සමයේ මෙන් විසිල්, බල්ටි නැති බවය.
විසිල්, බල්ටි, කටවුට්, පෝස්ටර් නැති ආණ්ඩුවේ වැඩ ගැන ජනතාව දැනුවත් නොමැති බැවින් රාජපක්ෂ මහතා කළ දෑ ඇසට පෙනෙන්ට ඇති බවත්, එහෙත් රනිල් ,මෛත්‍රී කුමක් කර ඇත්ද යන්නත් පවසමින් ඇතැමුන් සිනහසෙන බවත් ඔහු පැවසීය.
කවුරුන් කුමක් කීවද ජනතාව උදෙසා වූ ආණ්ඩුවේ සැලසුම් ඉදිරියටත් දියත් කරන අතර, එසේ නොමැති වුවහොත් මැදමුලනට වී සරම කැහැපොට ගසා සිටින්නට පමණක් සිදුවන බවද කී හරින්ට හදිසියේ රෝසිද මතක් විය.
‘මං දැක්කා පහුගිය දවසක රෝසි මැඩම්ටත් මඩක් ගෙනියනවා බුදු පිළිමයක් අයින් කළා කියලා. අඩුම ගානේ දෙයක් කියද්දී ටිකක් හොයලා බලලා කියපන්. එතෙන්ට ගිහින් බලලා කියපන් බුදු පිළිමේ අයින් කළාද කියලා. හැම තැනම කිය කියා ගියා බුදු පිළිමේ අයින් කළා කියලා. මමත් ගිහිල්ලා බැලුවා. මේ වගේ බොරු පච හදලා මහා ආශ්වාදයක් ගන්න පිරිසකුත් ඉන්නවානේ මේ රටේ’
අනතුරුව වටපිට බැලූ හරින් හුස්මක් ගෙන,
‘ආණ්ඩුවට විරුද්ධව බිල්ලෝ මවන එක විතරයි කරන්නේ ඔය මිනිස්සු’ යැයි මිමිණීය.
ඉන්දියාවේ ප්‍රකට දේශපාලනඥයකු වන සුබ්‍රමනියම් ස්වාමි මහින්ද මුණගැසීමට සූදානමින් මෙරටට පැමිණියේය. සුබ්‍රමනියම් ස්වාමි පැමිණ සිටියේ සැප්තැම්බර් මස 11 වැනිදා ඉන්දියාවේ පැවැත්වෙන සමුළුවකට මහින්දට ආරාධනා කිරීමටය. එම හමුව පැවැත්වීමට නියමිතව තිබුණේ 22 වැනිදා කොළඹදීය.
එහෙත් එදින උදෑසන මහින්ද සුබ්‍රමනියම් ස්වාමිට දැනුම් දුන්නේ සිය සොයුරාගේ අභාවය නිසා තමන්ට එදින කොළඹ පැමිණීමට නොහැකි බවය. එම නිසා මැදමුලනට පැමිණෙන්නැයි මහින්ද සුබ්‍රමනියම් ස්වාමිට ආරාධනා කළේය.
එම ආරාධනය පිළිගත් සුබ්‍රමනියම් ස්වාමි අධිවේගී මාර්ගය ඔස්සේ මැදමුලනට ආවේය. ප්‍රථමයෙන් චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අවසන් ගෞරව දැක් වූ ඔහු මහින්ද සමග මැදමුලන නිවසේ ඇතුළු කාමරයක සාකච්ඡාවක නිරත විය.
තමන් අධිවේගී මාර්ගයේ එන විට දුටු දසුන් සිහිපත් කරමින් සුබ්‍රමනියම් ස්වාමි කීවේ ලංකාව ශීඝ්‍රයෙන් දියුණු වී ඇති බවය. එම දියුණුවේ පුරෝගාමියා වශයෙන් හෙතෙම මහින්දට ප්‍රසංශා කළේය.
අනතුරුව සුබ්‍රමනියම් ස්වාමි ඉන්දීය දේශපාලන තත්ත්වය ගැන අදහස් පළ කළේය. මහින්ද ලංකාවේ දේශපාලනය ගැන පැහැදිලි කළේය. මහින්ද කීවේ ජාතික සම්පත් විකුණමින් ආණ්ඩුව වැරදි ගමනක යන බවය. පළිගැනීම හැර වෙන අරමුණක් ආණ්ඩුවට නැති බවත් කීවේය.
‘ ඉන්දියාවේ අපේ මිනිස්සු මේ රටේ දන්නේ පුද්ගලයෝ දෙන්නයි. එක්කෙනෙක් තමයි ඔබතුමා. අනෙක් කෙනා සනත් ජයසූරිය’ සුබ්‍රමනියම් ස්වාමි පැවසීය. මැදමුලන නිවසෙන් දිවා ආහාරයද ගත් ඔහු අනතුරුව පිටත්ව ගියේය.
එදින රාත්‍රියේ මහින්ද යාපා, ජොන්ස්ටන්, පවිත්‍රා, ප්‍රසන්න, කෙෙහළිය, ඉන්දික, ෂෙහාන් යන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුනුත් නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ සුසිල්, එස්. බී, තිලංග, ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරුනුත් රැය පහන් කළේ මැදමුලන නිවසේය.
ප්රසන්නත් ඉන්දික අනුරුද්ධත් මළ ගෙදරට ආවේ එකම වාහනයෙනි. දෙදෙනා එක වාහනයෙන් පැමිණෙනු දුටු ලොහාන් දෙදෙනාට විහිළු කළේය.
‘ දෙන්න අයියයි මල්ලියි වගේ එකටම එනවා නේද? ‘ ලොහාන් ඇසුවේය.
‘ අපි ඉතින් එහෙම තමයි’ ප්‍රසන්න පැවසීය.
‘ මල්ලි, උඹට තියෙන්නේ මෙයාගේ පස්සෙන් යන එක නෙමෙයි. මෙයා මළගෙදරට යනකම් ඉඳලා ආසනේ ඇවිදලා මනාප ටික එකතු කර ගන්න එකනේ. උඔට ඒක කරන්න පුළුවන්’ ලොහාන් කීවේය.
‘ අපෝ මට නම් ඕවා කරන්න බැහැ. ලොක්කට විරුද්ධව යන්න හිතන්නෙවත් නැහැ’ ඉන්දික පැවසීය.
‘ ඒ මොකද බං?’ ලොහාන් ඇසුවේය.
‘ මෙතන තියෙන්නේ අයියා මල්ලි සම්බන්ධයක් නෙමේ ගුරු ගෝල සම්බන්ධයක්’’ ඉන්දික කීවේය.
‘ පිස්සුද බං ගුරුවරයටත් කෙලින ගෝලයෝ ඉන්න රටක් මේක’ ලොහාන් කීවේ සිනාසෙමිනි.
‘ ගම්පහ දිස්ත්‍රික්කයේ අපිට එහෙම ප්‍රශ්න නැහැ. අපිට තියෙන එකම ප්රශ්නය තමයි මේ ආණ්ඩුව ගෙදර යවන එක. ඒකාබද්ධයේ ඉන්න අපි සේරම වැඩ කරන්නේ ඒකටයි.’ ප්‍රසන්න පැවසීය.
මළගෙදර සිටි මන්ත්‍රීවරුන් කතා බහ කළේ 05 වැනිදා උද්ඝෝෂණය සාර්ථක කර ගන්නා ආකාරය සම්බන්ධයෙනි. ආණ්ඩුව උද්ඝෝෂණයට එරෙහි මර්දනයක් ක්‍රියාවට නැංවුවහොත් කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද මෙහිදී කතාබහට ලක්විණි.
“ඒකාබද්ධ විපක්ෂයේ ආණ්ඩු විරෝධී සටන ගැන ජනතාවගේ ලොකු කැමැත්තක් තියෙනවා. අපි ඉදිරියේදී නිදහස් පක්ෂයෙන් තවත් මන්ත්‍රීවරුන් කණ්ඩායමක් මේ පැත්තට දිනාගන්න කටයුතු කරනවා’ 16 කණ්ඩායමේ සාමාජිකයෙක් පැවසීය.
‘ එක්සත් ජාතික පක්ෂයත් අද ඉන්නේ බරපතළ අර්බුදයක. ඒ පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් බොරුවට එළියට ඇවිත් කෑගැහුවට ඉන්නේ ලොකු විරෝධයකින්’ ජොන්ස්ටන් පැවසීය.
‘ ආණ්ඩුව මේ උද්ඝෝෂණය නතර කරන්න ඕනෙම දෙයක් කරයි. ඒ හින්ද අපි ඒවටත් ලැහැස්ති වෙන්න ඕනේ’ නාමල් පෙන්වා දුන්නේය.
‘ ඒක ඇත්ත. ආණ්ඩුවට දැන් තියෙන ලොකුම අභියෝගය ඒකාබද්ධ විපක්ෂයයි. අපේ කණ්ඩායම හිටියේ නැත්නම් රට විකුණන් කන එක නිදහසේ කරන්න ආණ්ඩුවට පුළුවන්. හැබැයි දැන් අපෙන් බේරිලා කිසිම දෙයක් කරන්න බැහැ.’ කෙහෙළිය පැවසීය.
‘ ආණ්ඩුවේ ඉන්නේ මර්දන ඔස්තාර්ලා ටිකක්. උද්ඝෝෂණ, පෙළපාළි, වැඩවර්ජන පේන්න බැරි අමුතුම කොට්ඨාසයක් තමයි මේ ආණ්ඩුවේ ඉන්නේ. අපි ආණ්ඩුවේ ඉන්න කොටත් මේවා ගැන කතා කළා. හැබැයි වැඩක් වුණේ නැහැ’ එස්. බී කීවේය.
නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා මළගෙදර පැමිණියේ පිරිස මෙසේ කතාබහ කරමින් සිටින අතරතුරය. මහින්දට නිමල් පෙන්වමින් එතැන සිටි 16 කණ්ඩායමේ මන්ත්‍රීවරයකු කීවේ ‘ සර් ඔන්න අපි නිමල් ඇමැතිතුමාවත් ගෙන්න ගත්තා’ කියාය.
‘ නිමල්ට ඉතින් මේවා නුපුරුදු තැන් නෙමෙයිනේ. එයාට ඕනේ වෙලාවක එන්න පුළුවන්’ කී මහින්ද ‘ මොකක්ද නිමල් පළාත් සභා සීමානිර්ණ වාර්තාව එන දවසට කරන්න ඉන්නේ? ‘ යැයි ඇසුවේය.
‘ සර් අපි ඒකට පක්ෂව ඡන්දය දෙනවා’ නිමල් පැවසීය.
‘ ආණ්ඩුව හදන්නේ පනතට මුවා වෙලා පළාත් සභා ඡන්දය කල් දාන්නනේ’ කෙහෙළිය කීවේය.
‘ අපි පනතට පක්ෂ වෙන්නේ ඡන්දය ඉක්මනට තියන්න තමයි’ නිමල් පැවසීය.
‘ මොන ක්‍රමයකට හරි ඉක්මනට ඡන්දය තියන්න ඕනේ. ඡන්ද කල් දාන එක හොඳ වැඩක් නෙමෙයි. ඉතිහාසයේ ඕනේ තරම් තියෙනවා ඡන්ද කල්දාපු ආණ්ඩුවලට වෙච්ච දේවල්. එදා මැතිනි 1975 තියන්න තිබ්බ ඡන්දය 1977 වෙනකම් කල්දාලා උඩින් පැරදුණා. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී මේ ආණ්ඩුවට වුණෙත් ඒකමයි. මැතිවරණ කල් දැම්මා කියලා පරාජයෙන් ගැලවෙන්න බැහැ. ආණ්ඩුවත් මේවා තේරුම් ගන්න ඕනේ.’ මහින්ද පැවසීය.
ජනබලය කොළඹට උද්ඝෝෂණය මෙහෙයවීම සම්බන්ධයෙන් පත් කෙරුණු මෙහෙයුම් කමිටුව 20 වැනිදා සවස රැස්වූයේ නාමල් රාජපක්ෂගේ ටවුන්හෝල් කාර්යාලයේදීය. එතැනදී ඩලස් අතීතයේ ආණ්ඩු පෙරළීමේ ව්‍යාපාර සම්බන්ධයෙන් මිනිත්තු 20ක කදිම විග්රහක් කළේය.
‘සර්ගේ විග්‍රහය නම් අනර්ඝයි. හැබැයි ඕක මෙතන නෙමේ ජනතාව ඉස්සරහයි කියන්න තිබුණේ’ නාමල් පැවසීය.
‘ ඒක නම් ඇත්ත. මේ කාරණා දැනගන්න ඕනේ ජනතාවයි’ ප්‍රසන්න ද කීවේය.
අනතුරුව ජනබලය කොළඹට උද්ඝෝෂණයේ ප්‍රගතිය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණි. රෝහිත සහ ප්‍රසන්න රට පුරා සංවිධානය කටයුතු සම්බන්ධයෙන් පැහැදිලි කළහ. උද්ඝෝෂණයට ජනතාව සම්බන්ධ කරගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කිරීම ජොන්ස්ටන්ට පැවරිණි.
මහානායක හිමිවරුන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම දිලුම්, ශෙහාන්, කාංචන, කනක හට පැවරුණි. ඒකාබද්ධයේ රැලි අතරින් වැඩිම ජන සහභාගිත්වයක් තිබුණේ ගෝල්ෆේස් පිටියේ මැයි රැලියටය. එදින ලක්ෂ 18ක ජනතාවක් ගෝල්ෆේස් පිටියට පැමිණි බව සැලකේ. ජනබලය කොළඹට සංවිධායකයන්ගේ අරමුණ වී ඇත්තේ මෙවර එම වාර්තාව බිඳහෙළීමය.
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට රහස් පොලිස් නිලධාරීන් හිටපු ජනාධිපතිවරයාගේ නිවසට පැමිණීමට නියමිතව තිබුණේ පසුගිය 17 වැනිදාය. එදින මහින්දට මංගල්‍ය උත්සව දෙකක සාක්ෂියට අත්සන් තැබීමට නියමිතව තිබිණි. එක් මනාල යුවළක් ඒ සඳහා එදින උදෑසනම විජේරාම පෙදෙසේ නිවසට පැමිණියේය.
මනාල යුවළ සිය නෑදෑ හිතවතුන් ද සමග මහින්දගේ නිවසට ආවේ තෑගි බෝගද රැගෙනය. ඒ දුටු මහින්දගේ ආරක්ෂකයෙක් කීවේ "එළියේ ඉන්න මාධ්‍යවේදියෝ හිතයි ද දන්නේ නැහැ මහින්ද මහත්තයා සී.අයි.ඩීයට තෑගි ගෙනාව කියලා. එහෙම නැත්නම් හිතයි සී.අයි.ඩීයෙන් මහින්ද මහත්තයට තෑගි ගෙනාවා කියලා" කියාය.
එම විවාහයේ සාක්ෂියට මහින්ද සමග අනෙක් පාර්ශ්වයෙන් අත්සන් තැබුවේ විමල් වීරවංශය. එම කටයුතු නිම වූ විගස මහින්ද නිවසෙන් පිටත්ව ගියේ අනෙක් විවාහයට අත්සන් තැබීමටය. එතැන වැඩි වෙලාවක් නොරැඳුණු මහින්ද මනාල යුවළගෙන් සමුගත්තේ ‘අද සී.අයි. ඩී එකෙන් ඇවිත් ඉන්නවා ප්‍රකාශයක් ගන්න. ඒ හින්දා ඉක්මනට යනවා’ කියමිනි.
මහින්ද නිවසට පැමිණෙන විට මන්ත්‍රීවරුන්, මාධ්‍යවේදීන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද විශාල පිරිසක් එහි පැමිණ සිටියහ. ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් මෙන්ම නිදහස් පක්ෂයේ 16 කණ්ඩායමේ මන්ත්‍රීවරු ද එහි සිටියහ. නිවසට පැමිණි වහාම සැහැල්ලු ඇඳුමක් හැඳගත් මහින්ද වෙනම කාමරයක සිට රහස් පොලිස් නිලධාරීන්ට ප්‍රකාශය ලබා දුන්නේය.
පැය තුනකට ආසන්න කාලයක් මහින්දගේ ප්‍රකාශය සටහන් කර ගැනුණි. එහිදී විශේෂයෙන් ප්‍රශ්න කෙරුණේ මාධ්‍යවේදී කීත් නොයාර් අතුරුදන් වූ දිනයේ කරු ජයසූරිය සහ ලලිත් අලහකෝන් මහින්දට දුරකථන ඇමතුම් දීමෙන් පසු කීත් නිදහස් කිරීම සම්බන්ධයෙනි.
මහින්ද ප්‍රකාශය දෙමින් සිටින අතරතුර ආලින්දයේ සිටි මන්ත්‍රීවරු කතාබහ කරමින් පසු වූහ. ඔවුන්ගේ සාකච්ඡාව යොමුව තිබුණේ මහින්දගෙන් ප්‍රකාශයක් ගැනීමට රහස් පොලීසිය පැමිණීම ගැනය.
‘ මහින්ද මහත්තයාගෙන් ප්‍රශ්න කරනවා. රාජපක්ෂවරුන් හිර කරන්න බලනවා. අපේ කටවල් වහන්න හදනවා. ආණ්ඩුවේ අයයි රතු අලි පැටව් ටිකයි එකතු වෙලා දැන් ඉතින් මේවා තමයි කරන්නේ’ විමල් පැවසීය.
‘ආණ්ඩුව හොඳටම දන්නවා දැන් මිනිස්සු ඉන්නේ කලකිරීමෙන් කියලා. ඒ හින්දා තමන්ගේ නැති වෙමින් යන ජනප්‍රියත්වය ආපහු ගන්න මේ වගේ බාල වැඩ කරන්නේ’ රෝහිත පැවසීය.
‘ මෙයාලා දන්නේ නැහැ රාජපක්ෂලාගේ කටවල් වහන්න බැහැ කියලා. මර්දනය එන කොට තමයි රාජපක්ෂලා තව තවත් ශක්තිමත් වෙන්නේ’ නාමල් කීවේය.
‘ දැන් මේක පොලිස් රාජ්‍යයක් වීගෙන යන්නේ. හිට්ලර්ගේ පොලීසිය මීට හොඳයි’ ප්‍රසන්න පෙන්වා දුන්නේය.
‘ ආණ්ඩුව පත්වෙලා අවුරුදු තුනක් පිරුණා. දැන් එයාල කියන්නේ හුස්ම ගත්ත අවුරුදු තුනක් කියලා. හැබැයි මේක හුස්ම ගත්තු නෙමේ හුස්ම හිරකරපු අවුරුදු තුනක්’ විමල් කීවේය.
මෙම සාකච්ඡාව තවදුරටත් ඇදීගෙන යන විට නාමලුත් ප්රසන්නත් මහින්දගේ නිවසේ වෙනම කාමරයක විශේෂ සාකච්ඡාවක නියැළුණහ. පැය එකහමාරක් පමණ දෙදෙනා සාකච්ඡා කරද්දී මන්ත්‍රීවරුන් විමසිලිමත් වූයේ මේ දෙන්නාගේ කතාව මොකක්ද දන්නේ නැහැ කියමිනි.
සාකච්ඡාව නිමවා නාමල් සහ ප්‍රසන්න එළියට එන විට මන්ත්‍රීවරුන් ඇසුවේ ‘ මොනවද දෙන්නා කතා කළේ, මොකක්ද ඒ සතර කන්මන්ත්‍රණය’ කියාය. එහෙත් නාමලුත් ප්රසන්නත් සිනාසුණා මිසක් මන්ත්‍රීවරුන්ට උත්තර දෙන්නට ගියේ නැත.
මහින්දගේ ප්‍රකාශය සටහන් කර ගන්නා අතරතුර මන්ත්‍රීවරුන් සාකච්ඡා කළේ ආණ්ඩුව පෙරළීම සම්බන්ධයෙනි. ජන බලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙන් ද සාකච්ඡා කළහ. ඒ සඳහා මෙහෙයුම් කමිටුවක් ද පත්කර ගැනිණි. මහින්දානන්ද, ජොන්ස්ටන්, නාමල්, ප්‍රසන්න, රෝහිත, ඩලස්, දිලුම් එම කමිටුවට ඇතුළත් වූහ.
ඒ අතරතුර ප්‍රකාශය සටහන් කරගැනීමෙන් පසුව මහින්ද රහස් පොලිස් නිලධාරීන් ද සමග එළියට ආවේය.
‘ මොනවද සර් මෙයාලා අහන්නේ?’ රෝහිත ඇසුවේය.
‘ මෙයාලා මොනවා නැතත් මම රෑ දහයට නිදා ගන්නේ නැහැ කියලා නම් දැන ගත්තා’ මහින්ද සිනාසෙමින් පැවසීය. මහින්ද එසේ කීවේ තමන් රාත්‍රී දහය වන විට නිදා ගන්නා බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශයක් සිහිපත් කරමිනි. කීත් නොයාර්ගේ සිද්ධියදා කරු ජයසූරියට මහින්ද ඇමතුමක් දී ඇත්තේ රාත්‍රී 11.17 ටය.
‘ අපි මේවට සැලෙන්නේ නැහැ. රාජපක්ෂලා හිරේ දාලා බය කරන්න බැහැ. අපිට හිරගෙවල් අමුතු තැන් නෙමෙයි. ජනතාව වෙනුවෙන් කෑගහලා හිරේ යන්න වෙන එක අපි සලකන්නේ ගෞරවයක් විදියටයි’ මහින්ද මන්ත්‍රීවරුන්ට පැවසීය.
මහින්ද රහස් පොලීසියට කටඋත්තර දුන් දා උදිත ලොකුබණ්ඩාර හට සැරෙන් කතා කිරීමේ සිදුවීමක් ද පසුගිය දිනවල ප්‍රසිද්ධියට පත්ව තිබිණි. එතැනදී සිදුව තිබුණේ අනවබෝධය නිසා ඇති වූ ගැටලුවකි.
මහින්ද ප්‍රකාශයක් ලබාදෙන අවස්ථාව ආවරණය කිරීමට මාධ්‍යවේදීහු විශාල පිරිසක් එදින උදෑසන සිට විජේරාම පෙදෙසේ නිල නිවස ඉදිරියේ රැස්ව සිටියහ. ප්‍රකාශය සටහන් කරගැනීමෙන් අනතුරුව මහින්ද මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කරමින් සිටින අතරතුර එතැන සිටි අයකු කීවේ ‘සර් මාධ්‍යවේදීන් සෑහෙන වෙලාවක ඉඳලා බලන් ඉන්නවා’ කියාය.
‘අපි එයාලව ඇතුළට ගෙන්වමු’ උදිත පැවසීය.
‘නෑ.... නෑ... අපි ඒ අය ළගටම යන්’ මහින්ද පැවසීය.
එහෙත් උදිතට එය ඇසුණේ නැත. උදිත ආරක්ෂකයන්ට උපදෙස් දුන්නේ මාධ්‍යවේදීන් ඇතුළට කැඳවන ලෙසය. මාධ්‍යවේදීන් එනු දුටු මහින්ද ඇසුවේ ‘කවුද ගෙන්නුවේ. මම එයාල ළඟට යන්නනේ හිටියේ’ කියාය. මහින්දට කේන්ති ගියේ එම සිද්ධියටය. ‘ ඔන්න නියම මහින්ද මහත්තයා මතුවෙලා ඉන්නවා. 2005 ජනාධිපති වුණාට පස්සේ තමයි මහින්ද මහත්තයා තැන්පත් වුණේ. එහෙම නැත්නම් එතුමා වරදක් දැක්ක තැන මූණමට බැන්න කෙනෙක්’ එතැන සිටි තංගල්ල පළාත්පාලන නියෝජිතයෙකු කීවේ මහින්දගේ හැසිරීම ගැනය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd