Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
2024 දෙසැම්බර් මස 12 වන බ්‍රහස්පතින්දා
මෙවර පාර්ලිමේන්තු සතිය ආරම්භයේදීම පාර්ලිමේන්තුව උණුසුම්වනු ඇතැයි බොහෝ දෙනා අවධානයෙන් සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලැබිය යුතුයැයි ඔවුන් දිගින් දිගටම කියා සිටි බැවිනි. පාර්ලිමේන්තු සතිය ආරම්භ වූ අඟහරුවාදා එය ලබානොදුනහොත් පාර්ලිමේන්තුවේ අරගල කරන බව ඔවුන් පැවසූ බැවින් සියල්ලන්ගේම අවධානය පාර්ලිමේන්තුව දෙසට යොමුවී තිබුණි. එසේ නමුදු එවැන්නක් සිදු නොවී පාර්ල්මේන්තුව පවත්වාගෙන යෑමට කථානායක කරු ජයසූරිය මහත් වෙහෙසක් ගත්තේය.
අඟහරුවාදා පාර්ලිමේන්තුව ආරම්භයේදී කටයුතු සිදුවන අතර නැගී සිටි මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් අදහස් දක්වන්නට විය.
කථානායකතුමනි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් අත්සන් කරපු ලිපියක් අපි ඔබතුමාට දුන්නා. විපක්ෂයේ බහුතරය තියෙන අපිට විපක්ෂනායක ධුරය ලැබිය යුතුයි. ඔබතුමා පොරොන්දු වුණා අපිට අද ප්‍රකාශයක් කරනවා කියලා. අපි මහින්ද රාජපක්ෂගේ නායකත්වය පිළිගත් අය. මේකට අපිට අදම පිළිතුරක් අවශ්‍යයි. දිනේෂ් ආවේගයෙන් කියන්නට විය.
පසුව කථානායක කරු එයට පිළිතුරු දුන්නේය.
දිනේෂ් මන්ත්‍රීතුමා ඔබතුමා තවත් මන්ත්‍රීවරුන් පිරිසක් එක්ක ඒ ගැන මට කිව්වේ බොහොම කලින්. මම එදාම කිව්වා මේ කාරණය ලිඛිතව දෙන්න කියලා. ඔබතුමාලා පසුගිය සතිය වෙනකම් ලිඛිතව දුන්නේ නැහැ. එදා මම කියපු දවසේ දුන්නා නම් අද මට පිළිතුරක් දෙන්න තිබුණා. නමුත් ඔබතුමාලා පරක්කුවෙලා දුන්න නිසා පිළිතුරක් දෙන්න මට තව ටික කාලයක් අවශ්‍යයි. මම හිතනවා ඔබතුමාට ඒ ටිකත් මතක ඇති කියලා.
කරු එසේ දිනේෂ්ට කියනවිට දිනේෂ් තුළ තිබුණු අවේගශීලී බව පහව ගොස් බිම බලා සිනාසුණි. ඉන්පසුව තත්ත්වය සාමාන්‍ය අතට හැරුණි. එවිට නැගී සිටි ඇමති කිරිඇල්ලද එයට යමක් එක් කළේය.
‘කථානායකතුමනි ඒකාබද්ධය කියලා පක්ෂයක් නැහැ. තියෙන්නේ කල්ලියක් විතරයි.’
කිරිඇල්ල එසේ කියූ විට අසල සිටි ජෝන් අමරතුංග කියා සිටියේ
‘ඔව් ඔව් ආවා කල්ලිය’ යනුවෙනි.
පසුව මන්ත්‍රී ඩලස් නැගී සිට විපක්ෂනායක ගැටලුව විග්රහ කරන්නට විය.
ඩලස්ගේ විග්රහ කිරීම අරතුර යළි නැගී සිටි කිරිඇල්ල ඩලස්ගෙන් ප්‍රශ්නයක් විමසුවේය.
‘හරි ඔබතුමා කියන්න ඔබතුමාගේ පක්ෂේ මොකද්ද කියලා.’
කිරිඇල්ලගේ ප්‍රශ්නයට සිනාසුණු ඩලස් පිළිතුරක් නොදුන් අතර මඳ වෙලාවකින් මෙසේ කීවේය.
‘ කිරිඇල්ල ඇමතිතුමාගේ පටලැවිල්ලේ බරපතළකම ඔබතුමා තේරුම් ගන්නේ ඔබතුමාගේ නමේ ඉස්පිල්ල ඇලපිල්ල පැටලිච්ච දවසට. එදාට ඔබතුමා තේරුම් ගනී අමාරුව. එදාට තමයි තේරුම් ගන්නේ. එතකම් පැටලෙනවා.’
ඩලස්ගේ එම පිළිතුරට පක්ෂ විපක්ෂ සියල්ලෝම මහ හඬින් සිනාසුන අතර කිරිඇල්ලටද සිනහ නොවී සිටීමට නොහැකි විය.
ආණ්ඩුපක්ෂ, විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ විපක්ෂනායක ධුරය පිළිබඳ අර්ථ දැක්වීම් අසා සිටි මන්ත්‍රී අනුර කුමාර දිසානායක ද අනතුරුව නැගී සිටියේය.
‘ දැන් ඔබතුමාලා කියනවා ඔබතුමාලාට 70ක් ඉන්නවා කියලා. ඒ අතර හිටපු ජනාධිපතිවරු, ඇමතිවරුන්, නිදහස් පක්ෂෙ සභාපතිවරුන් වගේ ප්‍රබලයෝ ඉන්නවා. ඉතින් ඔච්චර බලයක් තියෙනවා නම් ඇයි ඔබතුමාලා සන්ධානේ ඉතිරි 26ට යටවෙලා ඉන්නේ. ඉස්සරලා සන්ධානෙ බලය අරගෙන පෙන්වන්නකො. ඊට පස්සේ අපි කතාකරමු විපක්ෂනායකකම ගැන.’
කෙසේ හෝ මෙලෙස පැය දෙකක් පමණ විපක්ෂනායක ධුරය පිළිබඳ සියල්ලෝම කතාකර කථානායක කරුගේ විසඳුමක් බලාපොරොත්තුවෙන් නිහඬ වූහ.
බදාදා පාර්ලිමේන්තුව ආරම්භයේදී අගමැතිගෙන් ප්‍රශ්න ඇසීමට කාලය වෙන්වී තිබිණි. මේ නිසා අගමැති රනිල් එදින පාර්ලිමේන්තුව ආරම්භයට ප්‍රථම සභාගැබට පැමිණ සිටියේය. එමෙන්ම මෙදින නිවාස අමාත්‍යාංශයේ පනතක් විවාදයට ගැනීමටද නියමිතව තිබිණි. මේ හේතුවෙන් නිතර පාර්ලිමේන්තුවේ දකින්නට නොලැබෙන ඇමති සජිත් ප්‍රේමදාසද පාර්ලිමේන්තුව ආරම්භයට ප්‍රථම එහි පැමිණ සිටිනු දකින්නට ලැබුණි.
අගමැති රනිල් සහ ඇමති සජිත් බොහෝ වෙලාවක් කතාකරමින් සිටි අතර පාර්ලිමේන්තුව ආරම්භ කරන අවස්ථාවේදී සජිත් සිය අසුනට යමින් සිටියේය.
මේ අතර විපක්ෂය දෙස සිටි මන්ත්‍රී වෙල්ගම, ඇමති සජිත්ව දැක කතා කළේය. පාර්ලිමේන්තුව එතෙක් ආරම්භ වී නොතිබුණ බැවින් වෙල්ගම උස්හඬින්ම කතා කළේය.
‘ආ අනාගත නායකතුමා කොහොමද?’
වෙල්ගම එසේ ඇසුවේ සජිත්ගෙනි. එය ඇසූ සජිත් එසේ නොකියන ලෙස වෙල්ගමට අතින් කිව්වේ අගමැති රනිල් දෙසද බලමිනි.
වෙල්ගමගේ සහ සජිත්ගේ කතාබහ දිගටම පවත්වාගෙන යෑමට බාධාවක් වූයේ පාර්ලිමේන්තුව ආරම්භයට සෙංකෝලය රැගෙන ආ බැවිනි. ඒ හේතුවෙන් සජිත් සිය අසුනට ගියේය.
කොටි හිතවාදී ප්‍රකාශයක් කර රාජ්‍ය ඇමතිකම අහිමි වූ විජේකලා ද මෙවර පාර්ලිමේන්තු පැමිණි සිටිනු දැකගත හැකි විය. විජේකලා සමග ආණ්ඩු පක්ෂ විපක්ෂ සියල්ලෝම කතා කිරීමට උනන්දුවක් දක්වන බව වරින් වර සභාගැබ තුළින් දක්නට ලැබුණි.
මේ අතර විජේකලා මන්ත්‍රී රවී කරුණානායක අසලින් යන විට රවී විජේකලාට කතා කළේය. විජේකලා රවීට ඇසූදේට දීර්ඝ පිළිතුරක් දෙන්නට විය. වරෙක සිනහසෙමින් වරෙක ඇස් ලොකුකරමින් විජේකලා රවීට කියන විස්තරය දෙස ආණ්ඩු පක්ෂ විපක්ෂ බොහෝදෙනා අවධානයෙන් බලා සිටිනු දක්නට ලැබුණි.
අඟහරුවාදා පාර්ලිමේන්තු සැසිවාරය පැය දෙකකට සීමා විය. ඒ පාර්ලිමේන්තු විවාදයට සහභාගි වන විපක්ෂ මන්ත්‍රීවරුන් නොසිටීම හේතුවෙනි.
ඇමති සජිත් ඉදිරිපත් කළ බද්ධ නිවාස අයිතිවාසිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැති අතර විවාදයේ අදහස් දැක්වූයේ කථිකයන් තිදෙනෙකු පමණි.
විපක්ෂය වෙනුවෙන් කථික ලැයිස්තුවේ නම්කර තිබූ පද්ම උදයශාන්ත ගුණසේකර, කනක හේරත්, ඉන්දික අනුරුද්ධ, චාල්ස් නිර්මලනාදන්, සුනිල් හඳුන්නෙත්ති හා ඩග්ලස් දේවානන්ද යන මහත්වරු විවාදය පැවැත්වෙන අවස්ථාවේ සභාවේ නොසිටියහ.
මේ හේතුවෙන් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි ආණ්ඩු පක්ෂයේ මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ නම ප්‍රකාශ කරමින් විවාදයේ අදහස් දැක්වීමට අවස්ථාව ලබා දුන්නේය.
එම අවස්ථාවේදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ඊට ප්‍රථම අදහස් දැක් වූ බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුට අවස්ථාව ලබාදෙන ලෙස ආණ්ඩු පක්ෂය විසින් නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.
‘විපක්ෂයේ මන්ත්‍රීවරුන් කවුරුත් නැහැ. එහෙමනම් මම මරික්කාර් මන්ත්‍රීතුමාට ආරාධනා කරන්නම්’ යැයි නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි පැවසීය
එස්.එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේ සිටියද, විවාදයේ අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ අතර, එම අවස්ථාවේදී නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස ඇතුළුව ආණ්ඩු පක්ෂය කියා සිටියේ, විවාදයට විපක්ෂයේ මන්ත්‍රීවරුන් ද සිටිය යුතු බවයි.
‘ විවාදයට සහභාගි වන ලේඛනයේ සිටින විපක්ෂයේ මන්ත්‍රීවරුන් කවුරුත් මෙතැන නැහැ’ යැයි නියෝජ්‍ය කථානායකවරයා පැවසීය.
නියෝජ්‍ය කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදයට යන්න ඕන. ඇමති සජිත් කීවේය.
ඇමතිතුමා මට නාමලේඛනයේ ඉදිරිපත් කරලා තිබෙන විපක්ෂයේ කවුරුවත් නැහැ. ඒ නිසා තමයි මට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කැඳවන්න වෙන්නේ. මුජුබර් රහුමාන් මන්ත්‍රීතුමා, ඔබතුමා කතා කරන්න. යැයි නියෝජ්‍ය කථානායක කීවේය.
එම අවස්ථාවේදී ද ආණ්ඩු පක්ෂය එයට අකැමැති වූ අතර, විපක්ෂයේ මන්ත්‍රීවරුන් නොමැති නම් පාර්ලිමේන්තුව අවසාන කරන ලෙස ආණ්ඩු පක්ෂය ඉල්ලා සිටියේය.
මම එහෙමනම් නාමලේඛනය කියවන්නම්. විරුද්ධ පක්ෂයෙන් විවාදයට සහභාගී වන නාමලේඛනය.
පද්ම උදයශාන්ත ගුණසේකර මන්ත්‍රීතුමා, කණක හේරත් මන්ත්‍රීතුමා, ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීතුමා, චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීතුමා, සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීතුමා, ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීතුමා. ඇමතිතුමා අවසන් කිරීමේ කතාව කරනවාද?
නියෝජ්‍ය කථානායක - ‘එහෙමනම්, බද්ධ නිවාස අයිතිවාසිකම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාව එකඟද?’
ආණ්ඩු පක්ෂය - ‘එකඟයි.’
ඒ අනුව කාරක සභා අවස්ථාවේදී සංශෝධන ඉදිරිපත් නොවූ අතර, පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය.
අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩලය උණුසුම් කළ ප්‍රධාන සිදුවීමක් වූයේ අමාත්‍ය අර්ජුන රණතුංග විසින් ඉදිරිපත් කෙරුණු කැබිනට් පත්‍රිකාවක් ඉවත් කිරීමයි.
ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියා අවස්ථා අසූවක් ලබා දීමට අනුමැතිය ඉල්ලා එම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.
මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තර තරග/තරගාවලි අරමුණු කරගනිමින් ජාතික සංචිතගත ක්‍රීඩා කණ්ඩායම්හි කාර්යසාධන ප්‍රවර්ධනය කිරීම මැයෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළේ පසුගිය වසරේ දෙසැම්බර් අටවැනිදායි. එම පත්‍රිකාව සැලකිල්ලට ගනිමින් ප්‍රධාන ලාභ ලබන ආයතන වන රාජ්‍ය බැංකු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය මූල්‍ය ආයතන, ඛනිජ තෙල් සංස්ථාව, විදුලිබල මණ්ඩලය, වරාය අධිකාරිය වැනි ආයතන සහ ත්‍රිවිධ හමුදා සහ පොලීසිය වැනි රාජ්‍ය ආයතන මගින් ජාතික සංචිතය තුළ උපරිම දක්ෂතා මට්ටමට පැමිණෙන ක්‍රීඩකයන්ට ස්ථීර පත්වීම් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විණි. ඒ අනුව එම කැබිනට් අනුමැතිය අනුව යමින් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, සුවිශේෂී ජාතික අවශ්‍යතාවක් ලෙස සලකා ලංකා ඛනිජ තෙල් සංස්ථාවට හා සී.පී.එස්.ටී.එල්. සමාගමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනකු බඳවා ගැනීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයේදී අවසර ඉල්ලා සිටියේය. ඒ සඳහා නිරීක්ෂණ ඉදිරිපත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබුණේ ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා නොව දීමනාවක් පමණක් ලබා දිය යුතු බවයි. ඒ ගැන අමාත්‍ය අර්ජුන රණතුංග අදහස් දැක්වූයේ තරමක නොසතුටු මුහුණකිනි.
“අද ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරයි තරමක් දුරට හෝ හොඳින් ජීවත් විය හැක්කේ. ජාතික මට්ටමේ අනෙක් බොහෝ ක්‍රීඩක ක්‍රීඩිකාවන් එදාවේල කන්න නැතිව ඉන්නවා. අපි උත්සාහ කළේ එවැනි ආර්ථික දුෂ්කරතාවලින් පීඩා විඳින ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යම් රැකවරණයක් ලබා දෙන්නයි. අන්ධ ක්‍රීඩකයන්, ගම්බද ක්‍රීඩකයන් දිනපතා අපිව හමුවෙන්න එනවා. ඔවුනට අපි පිළිසරණක් විය යුතු.” යැයි අමාත්‍යවරයා පවසද්දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසුවේ තෙල් සංස්ථාවට එවැනි අනුමැතියක් දුනහොත් වරාය වැනි වෙනත් ආයතනවලටත් එවැනි අවස්ථාවක් දීමට සිදු වනු ඇති බවයි. එබැවින් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රැකියා ලබාදීමට ක්‍රීඩා අමාත්‍යාංශය හරහා පොදු වැඩපිළිවෙළක් මසකස් කරන ලෙසටද ජනාධිපති මෛත්‍රී පැවසීය. “ඇත්තටම මම අද ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පදනම් වුණේ මීට පෙර ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දයාසිරි ජයසේකර ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් පදනම් කරගනිමිනි. ඒ පත්‍රිකාවෙන් ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට රාජ්‍ය ආයතනවල රැකියා ලබා දීමට කැබිනට් අනුමැතිය ලබා දෙන ලෙස ඉල්ලා තිබුණා.”යි අමාත්‍ය අර්ජුන රණතුංග දීර්ඝව කරුණු පැහැදිලි කළත් ඵලක් වූයේ නැත. ඒ ඔහුගේ කැබිනට් ප්රත්රිකාවට අනුමැතිය නොලැබීම හේතුවෙනි.
සතියේ මුල්ම සිරිකොත මාධ්‍ය හමුව ආරම්භ වූයේම පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප මූලික කර ගෙනය.
එදින හමුවට මන්ත්‍රී මරික්කාර් සහභාගි වූ අතර සැලකිය යුතු කාලයක් වැය කරමින් ඒ පිළිබඳ අදහස් දැක්වීය.
‘වැටුප් වැඩි කරනවාට අපි විරුද්ධයි කියලා කියන්න සිදුවීම කනගාටුදායක තත්ත්වයක්. මොකද අපි එහෙම කියන්න ඕනා එහෙම තීරණයක් අරන් තියෙනවා නම්. එහෙම තීරණයක් අරන් නැති වෙලාවක, එහෙම තීරණයක් අරන් තියෙනවා වාගේ මාධ්‍යවල ප්‍රචාරය යන නිසා තමයි එහෙම උත්තරයක් දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ’
අනතුරුව මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න වැලකි.
‘එතන වුණේ කවුරුහරි කියපු දෙයක් වාර්තා කරන එකනේ. ඔබතුමාට කියන්න පුළුවන්ද කොහොමද මේක නිර්මාණය වුණේ? මොකක්ද මේ පිටුපස තියෙන්නේ කියලා’
ඊට පිළිතුරු දුන් මරික්කාර් කීවේ,
‘දැන් මට වඩා ඔබතුමන්ලා දක්ෂයිනේ, ගවේෂණාත්මක මාධ්‍යවේදියෝ හැටියට. ඒ පිළිබඳව හොයන්න කියලා මම ඔබතුමාලගෙන් ඉල්ලීමක් කරනවා’ යනුවෙනි.
විනාඩි 25 කට පමණ පසු මාධ්‍ය හමුව නිමකර මරික්කාර් කෙළින්ම ඇමතුවේ පෙර කී ප්රශ්නය ඇසූ මාධ්‍යවේදියාය.
‘මං ඒක ඒ වෙලාවේ කිව්වේ නෑ. ඒක ගෙනාවේ දිනේෂ්. අන්තිමට ටොෆි කන්නේ කොහෙවත් ඉන්න අපි’ යැයි පවසමින් ඔහු නික්ම ගියේය.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අඟහරුවාදා උදේ 11.00ට පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක හතරේදී රැස්වුණේ දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙනි. මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරුණේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙනි.
‘ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂනායක ධුරය හිමියි. ඒ වුණාට කථානායකවරයා ඒ හිමිකම දෙන්න සූදානම් නැහැ’ යැයි දිනේෂ් පැවසීය.
‘කථානායකවරයා හිතාමතාම විපක්ෂ නායක ධුරය අපිට අහිමි කරන්නයි යන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය විමසන්න කථානායකට අයිතියක් නැහැ. ඒ තීන්දුව ගන්න එතුමට පුළුවන්’ යැයි ප්‍රසන්න පෙන්වා දුන්නේය.
‘ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙනී සිටිනවා කියන කථානායකවරයා දැන් පෙනී ඉන්නේ ආණ්ඩුව වෙනුවෙන්’ විමල් පැවසීය.
‘මන්ත්‍රීවරුන් 70ක් ඉන්න කණ්ඩායමට නොදී විපක්ෂනායක ධුරය 16ක් ඉන්නා කණ්ඩායමට දීමෙන් ආණ්ඩුවේ ඒකාධිපති ගමන පැහැදිලියි’ යැයි ඩලස් කීවේය.
‘ආණ්ඩුව කියන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් ඇමැති ධුර දරන හින්දා විපක්ෂනායකකම දෙන්න බැහැ කියලයි. හැබැයි ජාතික ආණ්ඩුවට ගිවිසුම් අත්සන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිසක් එක්සත් ජනතා නිදහස් සන්ධානය නෙමෙයි’ යැයි ලන්සා පැවසීය.
‘ආණ්ඩුවේ මේ වැරදි ක්‍රියාමාර්ගයට විරුද්ධව අපි පාර්ලිමේන්තුවෙත්, පිටත් විරෝධය පාන්න ඕනේ’ යනුවෙන් වෙල්ගම පෙන්වා දුන්නේය.
‘එදා 2015දී සන්ධානයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් ඇමැති ධුර දරන කොට නිමල් සිරිපාල ද සිල්වා විපක්ෂනායක ධුරයේ කටයුතු කළා. ඒක පූර්වාදර්ශයකට ගන්න පුළුවන්’ යනුවෙන් සුසිල් පැවසීය.
‘ඒ විතරක් නෙමෙයි චන්ද්‍රිකා මහත්මිය 2001 ජනාධිපති වෙලා ඉන්න කොට අගමැති වෙලා හිටියේ රනිල් වික්‍රමසිංහ. හැබැයි චන්ද්රිකාගෙම පක්ෂයේ මහින්ද රාජපක්ෂ මහත්තයා එදා විපක්ෂනායක ධුරය දැරුවා. ජනාධිපතිගෙම පක්ෂයේ වුණා කියලා මහින්ද මහත්තයට විපක්ෂනායක ධුරය නොදී ඉන්න එදා කටයුතු කළේ නැහැ’ යැයි ගම්මන්පිල පැවසීය.
කථානායකවරයා වැරදි තීන්දුවක් ගතහොත් ඔහුට විරුද්ධව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි. එසේම පාර්ලිමේන්තුව තුළ, සහ ඉන් පිටත විපක්ෂනායක ධුරය ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වීම සම්බන්ධයෙන්ද මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.
අඟහරුවාදා රාත්‍රියේ ප්‍රසන්න, පවිත්‍රා, ජොන්ස්ටන් ඇතුළු පිරිසක් මහින්ද මුණගැසුණේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. එහිදී සාකච්ඡාවට ලක් කෙරුණේ ආණ්ඩුව නැවත වරක් ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීම සඳහා ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳවය.
‘ආරංචියක් ආවා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී තිබ්බ සාකච්ඡාවකදී ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීම ගැනත් කතා කළා කියලා. ආණ්ඩුව දවසින් දවස ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙමින් යන හින්දා ඒක නැති කරන්න ඉක්මනටම මොනවා හරි කරන්න ඕනේ කියලා අගමැති කිව්වලු’ යනුවෙන් ප්‍රසන්න හෙළිකළේය.
‘මටත් ඒක ආරංචි වුණා. ඒකාබද්ධ විපක්ෂයේ කිහිපදෙනෙක් රිමාන්ඩ් කරලා ආණ්ඩුව ගැන තියෙන ජනතා අප්‍රසාදය නැති කරන්න තමයි කතා වෙලා තියෙන්නේ. ඉදිරි සතියේ කොහොම හරි දෙතුන් දෙනෙක් ඇතුළට ගන්න ඕන කියලා කතා වුණාලු’ යනුවෙන් ජොන්ස්ටන් පැවසීය.
‘රනිල්ගේ හැටි ඔහොම තමයි. කොහොම හරි බලය රැක ගන්න තමයි රනිල්ට ඕනේ’ යැයි මහින්ද කීවේය.
‘ගෝඨාභයට උදව් කරන අය ගැනත් දැන් හොයාගෙන යනවලු. මෙයාලට ඕනේ කොහොම හරි විපක්ෂයේ බලවේගය මර්දනය කරන්නයි’ පවිත්‍රා කීවාය.
‘මොනවා කරත් දැන් ආණ්ඩුවට ගොඩඒමක් නැහැ. මේ ආණ්ඩුව දැන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි’ යනුවෙන් ප්‍රසන්න කී කතාවට කවුරුත් එකඟ වූහ.
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂනායක රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් විජේරාම පෙදෙසේ නිල නිවසේදී පැවැත්වුණේ අඟහරුවාදා සවසය. විපක්ෂනායක ධුරය සම්බන්ධයෙන් සිදුකළ ඉල්ලීම ගැනත් මෙහිදී සාකච්ඡා කෙරිණි. සාකච්ඡාව ආරම්භයේදීම මහින්ද, වෙල්ගම සහ මහින්දානන්ද අතර මතුව ඇති අර්බුදය ගැන අදහස් දැක්වීය.
‘මම දැක්කා පහුගිය දවස්වල ඔය දෙන්නාගේ කතාබහක් යනවා. තැන් තැන්වල විවේචන කරගන්න එපා. අපි එකම කණ්ඩායමක්. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙතැන කතා කරගන්න’ යැයි මහින්ද කීවේ දෙදෙනා දෙසම බලමිනි.
‘මම නම් මහින්දානන්ද මන්ත්‍රීතුමාට අවවාදයක් කළේ. එයා කියලා තිබ්බ දේකට තමයි උත්තර දුන්නේ’ වෙල්ගම කීවේය.
‘ඔබතුමා ඉතින් මෙතැන ජ්යෙෂ්ඨයානේ. ඒ හින්දා කලබල වෙලා මේවා විසඳන්න බැහැ. දේශපාලනයේදී ඉවසීම කියන දේ හැමෝටම තියෙන්න ඕනේ. මොන විවේචන තිබුණත් ප්‍රසිද්ධියේ ඒවා කරන්න යන්න එපා. එහෙම වුණොත් අපිට බලාපොරොත්තු වෙන දේවල් කරගන්න බැරි වෙයි’ යනුවෙන් මහින්ද උපදෙස් දුන්නේය.
සැප්තැම්බර් 05 වැනි දා පැවැත්වීමට නියමිත ජනබලය කොළඹට උද්ඝෝෂණය සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
‘කවුද මේක සංවිධාන කරන්නේ?’ වාසු ඇසුවේය.
‘තරුණ සංවිධානය සහ ඒකාබද්ධ විපක්ෂය තමයි මේක සංවිධාන කරන්නේ. සියලු දෙනාම මේකට සහයෝගය දීලා ලොකු සෙනඟක් කොළඹට ගෙනත් ආණ්ඩු විරෝධය පළ කරන්න මහන්සි වෙන්න’ යනුවෙන් මහින්ද ඉල්ලා සිටියේය
ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෝ පසුගිය සඳුදා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මුණගැසීමට ගියහ. ඒ පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටය. සාකච්ඡාවට යෑමට පෙරාතුරව නෙළුම් මාවතේ කාර්යාලයේදී මුණගැසුණු මෙම පිරිස එහිදී මූලික සාකච්ඡාවක් පැවැත්වූහ.
තමන් හමුවට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් කොමිසමේ සභාපතිවරයා සුහදව පිළිගත්තේය. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මෙහිදී මැතිවරණ පැවැත්වීමට තමන්ගේ පාර්ශ්වයෙන් ඇති බාධා සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය. හෙට අනිද්දා දිනයක මැතිවරණ කොමිසමේ සාමාජිකයන් රැස් වී මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා බවත් හෙතෙම පැවසීය.
‘ඔබතුමාට මැතිවරණ පැවැත්වීමට පූර්ණ බලතල තියෙනවා. දැනට පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන්නේ පැරණි ක්‍රමයයි. අලුත් ක්‍රමයක් තවම පාර්ලිමේන්තුවේ සම්මත වෙලා නැහැ. ඒ හින්දා පැරණි ක්‍රමයටම ඡන්දය තියන්න පුළුවන්’ ජී. එල්. නීතිමය තත්ත්වය පැහැදිලි කළේය.
‘මම පිළිගන්නවා මැතිවරණ කොමිසමට බලය තියෙනවා කියලා. මෙහෙම හිතන්නකො. පාරක් හදලා තියෙනවා. හැබැයි මේ පාර මැද්දෙන් ගඟක් යනවා. එතැන පාලමක් හදලා නැහැ. එතකොට මොකද වෙන්නේ?’ යැයි සභාපතිවරයා ඇසීය.
‘පාර තියෙනවා නම් පාලමක් හදාගන්න එක ලොකු දෙයක් නෙමෙයි. වැඩේ කරන්න පුළුවන්’ ජී. එල් කීවේය.
‘තවදුරටත් මැතිවරණ කල්දැමීමෙන් නරක නාමය එන්නේ මැතිවරණ කොමිසමට මිසක් ආණ්ඩුවට නෙමෙයි. ආණ්ඩුව උත්සාහ කරන්නේ කොමිසමට මුවා වෙලා කොහොම හරි මැතිවරණය කල් දාගන්නයි. ඔබතුමා බලතල භාවිතා කරන්න’ සුසිල් ඉල්ලා සිටියේය. ඒ සියලු කාරණාවලට කන්දුන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ කොමිසමේ සාමාජිකයන් සමග සාකච්ඡා කර ඉක්මන් තීන්දුවක් ගන්නා බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd