Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
2024 දෙසැම්බර් මස 15 වන ඉරිදා
සේනානායක දන්සල - බණ්ඩාරනායක දන්සල
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය, මහාමාන්‍ය ඩී.එස්. සේනානායක ඇතුළු සේනානායකවරු හතර දෙනෙකු සැමරීමේ උත්සවයක් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාර විසින් සංවිධානය කර තිබූ අතර, එහි ප්‍රධාන ආරාධිතයා වූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනය.
බස්නාහිර පළාත් සභාවේ සියලු මැති ඇමතිවරුන්ද මේ සඳහා සහභාගි වුවද, මහ ඇමති ඉසුරු එයට සහභාගි නොවීම විශේෂත්වයකි.
මෙයට සහභාගි වූ ජනාධිපති මෛත්‍රී සිය කතාව පවත්වන විට ඉතිහාස කතාවක් පැවසූ අතර, එය දන්සලක් ගැන කතාවකි. මෛත්‍රී පැවසුවේ මෙවැන්නකි.
‘පොළොන්නරුවේ පොසොන් කාලයට දන්සල් දෙන්න දීර්ඝ කාලයක ඉඳන් තරගයක් තිබුණා. එක දන්සලක් එක්සත් ජාතික පාක්ෂිකයන් දෙන ඩී.එස්. සේනානායක දන්සල. අනිත් දන්සල ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයො දෙන බණ්ඩාරනායක දන්සල. මේ දන්සල් දෙක අතරින් කවුද වඩාත් හොඳට කරන්නේ කියන එක ගැන හැමදාම තරගයක් තිබෙනවා. එක්දාස් නවසිය පනස් ගණන්වල ඉඳලා මේ දන්සල් දෙක ආවා. ඩී.එස්. සේනානායක මහත්තයා අභාවප්‍රාප්ත වුණ දවසේ ඉඳලාත්, බණ්ඩාරනායක මහත්තයා අභාවප්‍රාප්ත වුණ අවස්ථාවේ ඉඳලයි මේ දන්සල් දෙක ආරම්භ වෙලා තියෙන්නෙ. ඒක පරම්පරා ගණනක දන්සල් දෙකක්. දැනට අවුරුදු 10කට කලින් 2007 විතර සේනානායක දන්සල වැහුණා. සංවිධායක මණ්ඩලයට කරකියා ගන්න බැරි නිසා ඒක වැහුණා. බණ්ඩාරනායක දන්සල මම හොඳින් කරගෙන ආවා. පොදු අපේක්ෂකයෙක් වෙලා එක්සත් ජතික පක්ෂය සමග එකතු වෙන්න ඒ කාලයේ හිතේවත් තිබුණේ නැහැ. සිහිනයක්වත් තිබුණේ නැහැ. නමුත් සේනානායක දන්සල සම්පූර්ණයෙන් වැහුණට පස්සේ මම බණ්ඩාරනායක දන්සල කරන මගේ මිත්‍රයන්ට කිව්වා අපි කලගුණ සලකන්න දැනගන්න ඕන කියලා. සේනානායක දන්සල වැහුණු නිසා බණ්ඩාරනායක දන්සල මෙතැන් පටන් %බණ්ඩාරනායක -සේනානායක දන්සල’ කියලා නම් කරමු කිව්වා. 2007 සිට එදා වෙනකම් %බණ්ඩාරනායක - සේනානායක දන්සල’ දෙනවා.’
එජාපයේ ලොකුම පෙරළිය
සේනානායකවරු පිළිබඳ මෛත්‍රීගේ කතාව ගැන එක්සත් ජාතික පක්ෂ මැතිඇමතිවරුන් අරලියගහ මන්දිරයට එක්වූ අවස්ථාවේ සාකච්ඡාවට ලක්ව තිබේ.
ඩී.එස්. සේනානායක විසින් ආරම්භ කරනු ලැබූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති සහ ගමන්මග ප්‍රථමයෙන් වෙනස් කරනු ලැබූවේ පක්ෂ නිර්මාතෘගේ පුත්‍රයා වන ඩඩ්ලි සේනානායක බව ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මෙහිදී පවසා ඇත.
පක්ෂ නිර්මාතෘ ඩී.එස්. සේනානායක එක්සත් ජාතික පක්ෂය ආරම්භයේදී ඇති කළ ප්‍රතිපත්ති සහ ගමන්මග 1962 කළුතරදී පැවැති සමුළුවේදී ඩඩ්ලි සේනානායක විසින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී සංකල්පයට මාරු කළේයැයිද ලක්ෂ්මන් කිරිඇල්ල එහීදී මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්නේය.
නමුත් එක්සත් ජාතික පක්ෂය පරාජයට පත්වීමෙන් පසු 1973දී ජේ.ආර්. ජයවර්ධන නැවතත් පක්ෂය අලුත් මාවතකට ගෙන යෑමට පියවර ගත් අතරම රණසිංහ ප්‍රේමදාස ඒ ගමන දිගටම ගෙන ගිය බව ලක්ෂ්මන් කිරිඇල්ල විස්තර කරමින් පැවසීය.
පක්ෂය යළි පරාජයට පත්වීමත් සමග පක්ෂයේ වගකීම් භාරගත් රනිල් වික්‍රමසිංහ හම්බන්තොට සමුළුව පවත්වා පක්ෂ ප්‍රතිපත්ති වර්තමානයට ගැළපෙන පරිදි වෙනස් කළ බවත්, පක්ෂ ඉතිහාසයේ වූ ලොකුම පෙරළිය සේනානායකලාට විරුද්ධව ගොස් පිහිට වූ බණ්ඩාරනායකගේ පක්ෂයේ මහලේකම්වරයා ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම බවද ලක්ෂ්මන් කිරිඇල්ල පවසා සිටියේය.
ලක්ෂ්මන් කිරිඇල්ල පැවසූ මෙම කතාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්රමුඛ මැතිඇමතිවරුන් අවධානයෙන් අසා සිටිනු දක්නට ලැබිණි.
ජල ගාස්තු වැඩි කළ යුතුයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම අඟහරුවාදා පැවැත්විණි. එහිදී ජල ගාස්තු වැඩි කිරීමේ අමාත්‍ය මණ්ඩල සන්දේශයක් රවුෆ් හකීම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලදී.
“2011 වසරින් පසු මෙතෙක් ජල ගාස්තු වැඩි කර නැහැ. පසුගිය රජය සමයේදී අවස්ථා ගණනාවක දී ජල ගාස්තු වැඩි කළා” යැයි අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසීය.
ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍ය චම්පික රණවක පැවසුවේ පවතින තත්ත්වය අනුව සියයට 65කින් පමණ ජල ගාස්තු වැඩි වන බවයි.
එහෙත් අමාත්‍ය මණ්ඩලයේ බහුතරය ජල ගාස්තු වැඩි කිරීමට විරුද්ධත්වය පළ කළහ. එවිට අමාත්‍ය රවුෆ් හකීම් පැවසුවේ කෙසේ හෝ ජල ගාස්තු වැඩි කළ යුතු බවයි.
“ජලය අපතේ යාම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් දියත් කළ යුතුයි. රජයේ කාර්යාලවල වැඩි වශයෙන් ජලය අපතේ යනවා” ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
එවිට අමාත්‍ය රවුෆ් හකීම් පැවසුවේ රජයේ කාර්යාලවල ජලය අපතේ යෑම වැළැක්වීම සඳහා වැඩපිළිවෙළක් දියත් කර ඇති බවයි.
“ක්‍රම ක්‍රමයෙන් එම තත්ත්වය අඩුවෙයි. අමාත්‍යවරුන් ජල ගාස්තු වැඩි කිරීමට විරුද්ධ වුවද, එමගින් ජල සම්පාදන මණ්ඩලය පවත්වාගෙන යෑමට අමාරුයි” අමාත්‍ය රවුෆ් හකීම් කියා සිටියේය.
එවිට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවසුවේ, ජල සම්පාදන මණ්ඩලයේ රැකියා ලබාදීමද වැඩි වී ඇති බැවින් එයද පාඩුවට හේතුවක් බවයි.
එම චෝදනාව අමාත්‍ය රවුෆ් හකීම් ප්‍රතික්ෂේප කළේය. නමුත් රිෂාඩ් බදියුදීන් පවසා සිටියේ, වසරකට 100කට වැඩි ප්‍රමාණයක් රැකියාවලට බඳවාගෙන ඇති බවයි.
“එය බොරු” යැයි අමාත්‍ය රවුෆ් හකීම් පැවසීය. යළි නැගී සිටි අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවසුවේ, “මාධ්‍ය ඒකකයට 25 අරගෙන මට මඩ ගහනවා” යනුවෙනි. එවිට රවුෆ් හකීම් පැවසුවේ, “මම නම් මඩ ගහන්නේ නැහැ. ඔයා නම් කණ්ඩායමක් දාලා මට මඩ ගහනවා” යනුවෙනි.
එවිට නැගී සිටි මුදල් අමාත්‍ය මංගල සමරවීර, “ජල ගාස්තු වැඩි කරන්න එපා. අවශ්‍ය මුදල්, මුදල් අමාත්‍යාංශයෙන් ලබාදෙන්නම්” යැයි පැවැසීය.
ඉඩම් අවුල කැබිනෙට්ටුවට
ඉඩම් අයිතිය ජනතාවට ලබාදීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සන්දේශයක් ඉඩම් අමාත්‍ය ගයන්ත කරුණාතිලක ඉදිරිපත් කර තිබිණි. ඊට ජනාධිපතිවරයා විරුද්ධව නිරීක්ෂණ යොමු කර තිබිණි. ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ මහවැලි ඉඩම්වල අයිතිය ලබාදීමෙන් පසු ජනතාව එම ඉඩම් විකුණා දමන බවයි. නමුත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසුවේ, 2003 වසරේදී අමාත්‍ය රාජිත සේනාරත්න ගෙන ආ පනතක් මගින් එලෙස කළ නොහැකි බවයි. එවිට නැගී සිටි අමාත්‍ය රාජිත සේනාරත්න,
“ඉඩම් විකුණනවා කියන කතාව කතාවක් විතරයි. මම ඉඩම් ඇමති කාලයේ ඉඩම් සමීක්ෂණයක් කළා. එහෙම කළේ ඇතැම් ඉඩම් පිට අයට විකුණන බවට ලැබුණු පැමිණිලි මතයි. නමුත් සියයට 95ක් ඉඩම් වෙනත් කිසිවෙකුට පවරා තිබුණේ නැහැ. සියයට 04ක් පමණ පවරා තිබුණා. ඉඩම්වල පූර්ණ අයිතිය ලැබෙන්නේ නැත්නම් පුද්ගලයෙකුට ණයක් ලබාගන්න බැහැ. කුඹුරුවලත් එහෙමයි. ඇතැම් අය පගා දීලා ඉඩම් පවරාගෙන තිබුණා” යැයි පැවසීය.
එවිට දුමින්ද දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ඉඩම් බහුතරය ලබා ගන්නේ පොලීකාරයන් බවයි.
“ඒක ඇත්ත. ණයක් ලබාගන්න බැරි වුණාම ඉඩම් හිමියා ඉඩම පොලීකාරයන්ට බදු දෙනවා. 2003 වසරේදී මම පනත ඉදිරිපත් කරන විට හිටපු ජනාධිපතිනිය විරුද්ධ වුණා. නිරීක්ෂණ එවීමට සති 02ක් ඉල්ලුවා. කමිටුවක්ද පත්කළා. ඒ අතිරේක ලේකම්වරයෙකු වන කරුණාරත්න සහ හිටපු ඉඩම් කොමසාරිස්වරයෙකු වන චිත්‍රා අතුකෝරාළ මහත්මියයි. මෙම පනතට විරුද්ධ නොවන ලෙස ඔවුන් නිර්දේශ ඉදිරිපත් කර තිබුණා. ඉදිරි කාලයේදී දෝෂාරෝපණයක් එල්ල වෙන්න පුළුවන් බවටත් අනතුරු අඟවා තිබුණා. ඉන් පසු ජනාධිපතිතුමිය කැමැත්ත පළකළා” යැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පැවසීය.
නමුත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ, එම පනතට එරෙහිව පළාත් සභා නඩුවක් ගොනු කළ බවයි.
යළි අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ, “පළාත් සභා තම බලතල ඉල්ලා තමයි නඩුව ගොනු කළේ. සංඛ්‍යා ලේඛන අපි ඉදිරිපත් කළා. ඉඩම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් හඳුන්වා දුන්නේ එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේයි. ඉඩම් බේරා දුන්නෙත් එක්සත් ජාතික පක්ෂයයි. එම නිසා තමයි හිටපු ජනාධිපතිවරයාට ෂැංග්‍රිලා හෝටලය හදන්න ඉඩම සම්පූර්ණයෙන්ම දෙන්න බැරි වුණේ. හිත්වල තිබෙන බය නිසා තීන්දු ගන්න එපා. 2003 රජය සමයේ එස්.බී. දිසානායක අමාත්‍යවරයා ප්‍රකාශ කළා පවුල් ලක්ෂ 13කට ඉඩම් අයිතිය ලබාදිය යුතු බව. එවිට ජනතාව අපේ රජය සමග බැඳෙන බව ඔහු ප්‍රකාශ කළා.
මෙවරත් ඒ දෙය කරමින් ඉඩම් අයිතිය ජනතාවට ලබා දෙන්න” යැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.
එවිට නැගී සිටි ශ්‍රියාණි විජේවික්‍රම අමාත්‍යවරිය පැවසුවේ, ඉඩම් අයිතිය ලබාදීම තුළින් ගොවියන්ගේ ඉඩම් නැති වන බවයි.
ඊට රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා විරෝධය පළ කළේය. “අපිත් ගම්වලින් ආපු ඇමතිවරු. අපේ ගම්වලත් ඉඩම් ඔප්පු නැති වුණාට ඇතැම් අය විකුණනවා. ඇතැම් පවුල් මහමගට වැටෙනවා. ඉඩම් අයිතිය ලබාදිය යුතුයි” යැයි හෙතෙම පැවසීය. අනතුරුව ජනාධිපතිවරයා කියා සිටියේ, මේ සඳහා කමිටුවක් පත්කළ යුතු බවයි.
වෙල්ගම ශෙහාන්ට දුරකථනයෙන් කතාකරයි
ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධව ප්‍රධාන පක්ෂවල අවධානය යොමුවෙමින් තිබියදී දේශපාලන ක්ෂේත්රය සිතාගත නොහැකි අන්දමින් වෙනස් වෙමින් තිබේ.
ජනාධිපති අපේක්ෂකයන් සම්බන්ධව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මතුවී තිබෙන මත ගැටුම මේ වනවිට ප්‍රසිද්ධ වේදිකාව දක්වා ගමන් කර ඇත. එය විසඳීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටද මැදිහත්වීමට සිදුවිය. කුමාර වෙල්ගම පාර්ශ්වය සහ ඔහුට විරුද්ධ පාර්ශ්වය ලෙස පිල් බෙදී ප්‍රසිද්ධ වේදිකාවල බැණ ගනිද්දී දෙපාර්ශ්වයේ කුණු කඳු මතුවෙමින් තිබේ. වෙල්ගමට එරෙහිව ගාමිණී ලොකුගේ සහ ශෙහාන් සේමසිංහ මේ සතියේ අදහස් පළ කර තිබුණි. වෙල්ගම ඊට නොදෙවෙනි ලෙස ඊට උත්තර ලබා දුන්නේය. ප්‍රසිද්ධ වේදිකාවේ බැණගැනීම් නවත්වන ලෙස මහින්ද පසුගිය සතියේ පැවති පක්ෂ නායක රැස්වීමේදී හා මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී පැවසූ අතර මේ සතියේද එම අවවාදය ලබාදීමට ඔහුට සිදුවිය.
“මං මීට පස්සේ පුද්ගලයන් ඉලක්ක කරගෙන එළියේ කතා කරන්නේ නැහැ. වෙල්ගම මන්ත්‍රීතුමා ගැන මං මීට පස්සේ කියන්නෑ. මම කිසිම දෙයකට උත්තර දෙන්න යන්නෑ. මහින්ද ජනාධිපතිතුමා කියන විදියට මම වැඩ කරනවා. මම සාමූහික වගකීම රකිනවා. “ශෙහාන් මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී කීවේය. මෙම රැස්වීමට වෙල්ගම පැමිණ නොසිටීම විශේෂත්වයක් විය.
වෙල්ගම ඊයේ පාර්ලිමේන්තු සභා ගැබට ඇතුළු වූයේ ශෙහාන්ට අත වනාගෙනය. එම අවස්ථාවේදී දෙදෙනාට කතාකිරීමට අවස්ථාවක් නොලැබුණි. පසුව යම් කටයුත්තක් කර ගැනීමට ශෙහාන් මහින්දානන්දට ඇමතුමක් ගත්තේය. ඒ වනවිට වෙල්ගම සහ මහින්දානන්ද පාර්ලිමේන්තු භෝජනාගාරයේ එක ළඟ අසුන් දෙකක වාඩීවි සිටියහ. ඊයේ දිනයේ විශේෂත්වයක් වූයේද වෙල්ගම මහින්දානන්ද එක ළඟ සිටීමය. පසුගිය සතියේදී බැණගත් දෙදෙනා එක ළඟ සිටීම බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය.
“මන්ත්‍රීතුමා කොහේද ඉන්නෙ “ශෙහාන් ඇසීය.’ මම මේ කැන්ටිමේ ඉන්නේ’ මහින්දානන්දගේ පිළිතුර විය. “මට පොඩි වැඩක් කරගන්න තියෙනවා’ ශෙහාන් පැවසූ විට “මෙන්න මගේ ළඟ ඔයාගේ යාළුවෙක් ඉන්නවා “මහින්දානන්ද කීවේය. “කවුද කවුද’ ශෙහාන් ඇසූ විට මහින්දානන්ද වෙල්ගමට දුරකථනය දුන්නේය. “පුතා මේ මම වෙල්ගම. මොකද කරන්නේ’ එය ඇසූ විට ශෙහාන් තරමක් වික්ෂිප්ත විය. එහෙත් ඒ බවක් නොපෙන්වා “ආ සර් මාත් ඇතුළේ තමයි ඉන්නේ.’ යැයි පැවසීය. ‘ මේ පොඩි පොඩි ප්‍රශ්න හිතේ තියාගෙන ඉන්න ඕන නෑ. අපි වෙනදා වගේ ආශ්‍රය කරමු. මට ටිකක් තරහ ගිහිල්ලා හිටියේ. ඒවා අමතක කරමු. අයේ මං ඔය ගැන කතාකරන්නෑ’ වෙල්ගම කී විට “ඔව් සර් මාත් මීට පස්සේ මොකුත්ම නොකියන්න තමයි හිතාගෙන ඉන්නේ. මටත් ප්‍රශ්නයක් නැහැ. සර් ගැන තියෙන ගෞරවය මගේ අඩුවෙලා නැහැ. ආයේ මොකුත් වෙන්නෑ .’ ශෙහාන්ගේ පිළිතුර විය.
සුවපති සිත්ගත් මුහුණු පොතේ වැකිය
%සිවුවැනි කාර්මික විප්ලවය හා සෞඛ්‍ය ආවරණය’ යන තේමාවෙන් ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හඳුන්වාදීමේ සමුළුව බදාදා පස්වරුවේ ආරම්භ වූයේ කිංග්ස්බරි හෝටලයේදීය. ප්‍රධානත්වය අගමැති රනිල්ගේය.
ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමය ඒකාබද්ධව සංවිධානය කෙරෙන මෙම සමුළුව දින 03ක් පුරා පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ සභාපතිනිය ලෙසට ඇමති රාජිතගේ බිරිඳ සුජාතා සේනාරත්න පත්වීමෙන් පසු පවත්වන ප්‍රථම ජාත්‍යන්තර සමුළුව මෙය වන බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනයක සඳහන් කර තිබිණි.
උත්සවයට පැමිණි අගමැති රනිල්, සුජාතා සේනාරත්න විසින් බුලත් දී උණුසුම්ව පිළිගනිද්දී රනිල් සිටියේ මන්දස්මිතියකින් වෙනතක් බලාය. පිළිගැනීම් සියල්ල අවසන්ව රනිල් මූලාසනයේ අසුන් ගෙන මඳ වේලාවකින් රාජිත සභාව ඇමතීය.
‘වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම වැඩ භාර ගැනීමේදී ඖෂධ වර්ග 44 – 75 අතර ප්‍රමාණයක හිඟයක් තිබුණා. 10෴ක නාස්තියකුත් තිබුණා. එම තත්ත්වය මගහරවාගැනීම සඳහා තාක්ෂණය භාවිත කරමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දුන්නා. සාර්ථකව එය ක්‍රියාත්මක වෙනවා. වර්තමානයේ මාධ්‍ය මගින් ඖෂධ හිඟයක් වාර්තා කරන්නේ නැහැ. එමගින් මූල්‍යමය ඉතිරියක්ද අමාත්‍යාංශයට ලැබී තිබෙනවා. මූල්‍යමය ඉතිරිය තුළින් ස්ටෙන්ස්, අක්ෂි කාච රෝගීන්ට ලබාදෙනවා. තාක්ෂණය ජනතා යහපත උදෙසා යොදාගත් එක් අවස්ථාවක් ලෙස එය හැඳින්විය හැකියි”
සැළකිය යුතු වේලාවක් කියවූ රාජිත සෝද සෝදා මඩේ දමමින් නිරන්තරව කියන කතාද නිමකොට සිය කතාවේ අවසානයට ආවේය.
‘මම මුහුණුපොතේ දැකපු වැකියකින් කතාව අවසන් කරන්නම්. කලින් භාවිත කළේ “අපි යන්නේ කොයි පාරේ කාල්මාක්ස් ගිය පාරේ’ කියලයි. නමුත් වර්තමානයේ “අපි යන්නේ කොයි පාරේ සකර්බර්ග් ගිය පාරේ’ කියා මුහුණුපොතේ සටහන්ව තිබුණා” යැයි කීවේ සියල්ලන්ම සිනහගස්වමිනි.
දෙසැම්බර් 10 වෙනකොට සමුළුවේ සියලු වැඩ අවසන් කරන්න
ජාතික මහා සම්මේලනය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙයි. විවිධ අනුසංවිධාන පිහිටුවමින්, පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන් දිස්ත්‍රික් මට්ටමින් කැඳවමින් සංවිධාන කටයුතු සිදුකෙෙරමින් පවතී. ඊයේ දිනයෙදී අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පළාත් පාලන නියෝජිතයන් කැඳවා තිබුණු අතර, එම අවස්ථාවට නියෝජිතයන් 150කට වැඩි පිරිසක් එක්ව සිටියහ. නෙළුම් මාවත කාර්යාලය ඉඩකඩ වැඩි කරමින් නවීකරණය කර තිබෙන බැවින් එම නියෝජිතයන්ට එකට සිටීම ගැටලුවක් නොවීය. බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම රැස්වීමට විමලවීර දිසානායක, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක හා පළාත් සභා මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එක්ව සිටියහ. පිරිස පිළිගනිමින් බැසිල් ඉදිරි දේශපාලන කටයුතු ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කළ අතර, දෙසැම්බර් 10 වැනිදාට පෙර සම්මේලනයට අදාළ සංවිධාන කටයුතු අවසන් කර ගැනීමට වගබලාගන්නා ලෙස ඉල්ලා සිටියේය. “බලමණ්ඩල පිහිටුවා නැති ස්ථානවල ඉක්මනින් ඒ කටයුතු අවසන් කරන්න ඕන. අපේ ප්‍රධාන ඉලක්කයක් වෙන්න ඕන, සාමාජිකයන් සංඛ්‍යාව වැඩි කර ගැනීම. ගුරු, විශ්‍රාමිකයන්ගේ, සමුපකාර වැනි අංශවල සංවිධාන පිහිටුවීම අවශ්‍ය වෙලා තිබෙනවා. මේ වනවිට සමහර තැන්වල එවැනි සංවිධාන පිහිටුවලා නැහැ. සමහරු ප්‍රාදේශීය සභාව, නගර සභාව දිනුවට පස්සේ දේශපාලනයක් නැති ගාණට ඉන්නවා. එහෙම ඉඳල බැහැ. හැමදාම දේශපාලනය තියෙන්න ඕන. කඩේ වහලා දාලා කියලා දේශපාලනය නොකර ඉන්න එපා. සමහර පළාත් පාලන නියෝජිතයන් තමන්ගේ කොට්ඨාසය ගැන දක්වන උනන්දුව මදි. රටේ නීතිය කඩන්න එපා. සෑම විටම පක්ෂයේ විනය ආරක්ෂා කරන්න හිතට ගත යුතුයි. විනය කඩන අය ගැන දැඩි පියවර ගන්න වෙනවා. මොකද එහෙම නැත්නම් මහජන විශ්වාසය අපෙන් ගිලිහි යනවා. රටේ නීතිය කඩපු කෙනෙක් හිටියොත් එයාව පක්ෂයෙන් ඉවත් කරන්න අපි පසුබවට වෙන්නෑ. සමුළුවේ වැඩ දෙසැම්බර් 10 වෙනකොට සියලු දේවල් අවසන් කරලා තියෙන්න ඕන. ඒක ටිකක් අමාරු වැඩක් තමයි. නමුත් අපි කොහොමහරි ඒක කරමු’ බැසිල් කීවේය. අනතුරුව විමලවීර අදහස් දක්වමින් “සමහර ශාඛා පිහිටුවීමට නොහැකි වීම ගැන මගේ අඩුපාඩු තියෙන්න ඇති. පැහැදිලිව ප්‍රමාද වුණු තැන් තිබෙනවා. මම අම්පාර දිස්ත්‍රික් නායකයා විදියට ඒ ගැන වගකීම භාරගන්නවා. අපේ පළාත් පාලන නියෝජිතයන්ගෙන් සමහර අයගෙත් අඩුපාඩු තිබෙනවා. ඒ අය මීට වඩා කල්පනා කරලා වැඩ කළොත් අපිට ජනාධිපතිවරණය පහසුවෙන් දිනන්න පුළුවන්. අයවැය කාලේ, වැහි කාලේ, අපේ පළාත්වල ගොවිතැන් කරන කාලේ, දෙසැම්බර් 10 වනවිට අනුසංවිධාන සියල්ල පිහිටුවා ගැනීම අමාරුයි. නමුත් අපි උපරිම උත්සාහ ගන්නම්’ යැයි පැවසීය. මෙහිදී පළාත් පාලන නියෝජිතයන් බැසිල්ගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ පක්ෂයේ විනය උල්ලංඝනය කරන පුද්ගලයන් සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. මෙම සාකච්ඡාවෙන් පසුව විමලවීර කෙළින්ම පාර්ලිමේන්තුවට ගියේය. පාර්ලිමේන්තු භෝජනාගාරයේ මේසයක සිසිර ජයකොඩි, ජයන්ත සමරවීර, කංචන විජේසේකර සමග විමලවීර වාඩි වී කතා කරමින් සිටියේය. පවතින ආර්ථික තත්ත්වය සම්බන්ධව මෙහිදී මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමුව තිබිණි.
මෛත්‍රීට උපකාරක ගුරුවරුන් උදවු කළ ආකාරය මතක් වෙයි
සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමයේ 08 වැනි මහ සමුළුව කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ අනුස්මරණ ශාලාවේදි බදාදා පැවැත්විණි. එම අවස්ථාවට මෛත්‍රීපාල සිරිසේන, විජේදාස රාජපක්ෂ සහ උපකාරක ගුරුවරුන් ලෙස කටයුතු කළ සිසිර ජයකොඩි, පියල් නිශාන්ත එක්ව සිටියහ.
කාලයක් ප්‍රසිද්ධ උපකාරක පන්ති ගුරුවරයෙකු වූ බන්දුල ගුණවර්ධනට මෙම සමුළුවට ආරාධනා කර තිබුණද, ඔහු පැමිණ සිටියේ නැත. පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ තමාගේ ජයග්‍රහණය සඳහා සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය කටයුතු කළ ආකාරය මෛත්‍රී මෙහිදී සිහිපත් කළේය.
“මගේ මතකයේ තිබෙනවා 2015 ජනවාරි 08 වැනිදා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස මා ඉදිරිපත් වූ අවස්ථාවේ මෙම සංගමය මට ආරාධනයක් කරලා කොළඹ සෝලිස් ශාලාවේ මට සහයෝගය දැක්වීම සඳහා සාකච්ඡාවක් තිබුණා. මාව ජනාධිපතිවරයෙක් කරන්න මෙම සංගමය වැඩ කොටසක් කළා කියන එක මම සතුටින් ප්‍රකාශ කරනවා. නිලලත් දේශකවරුන්ගේ සංගමය මීට වඩා රාජ්‍ය අනුග්‍රහය ලබාගැනීම සුදුසුයි. මීට වඩා රජය සමග ගනුදෙනු කිරීම අවශ්‍යයි කියලා මම හිතනවා. ඒ තුළ වෘත්තීය ප්‍රශ්න, ඔබ මුහුණ දෙන වෙනත් දුෂ්කරතාවන් හා ගැටලු විසඳා ගන්න පුළුවන් බව මම විශ්වාස කරනවා. ඔබේ සංගමය වෘත්තීය සමිති වගේ වැඩවර්ජන නොකරන නිසා ඉල්ලීම් දිනාගන්න ප්‍රශ්නයක් තිබෙනවා. අද
පසළොස්වක පෝය දවසේ ජනාධිපති මන්දිරයේ පැවැති ධර්ම දේශනය කළ ස්වාමීන් වහන්සේ විවිධ සමාජ ප්‍රශ්න කතා කරන විට ඉරිදා දවස දහම්පාසල් සඳහා වෙන් කිරීමට රජය මීට වඩා සැලකිලිමත් වෙන්න කියලා. උසස් අධ්‍යාපන ඇමතිතුමත් එතන හිටියා. නිලලත් සංගමය හා නිලනොලත් සේවාවන්වල සිටින අය එක්ව එම ප්රශ්නය විසඳීම සඳහා යම් පොදු වැඩපිළිවෙළකට ඒමේ අවශ්‍යතාව තිබෙනවා’ මෛත්‍රී කීවේය.
මෙතුමන්ලා කන්න වුණාම තලගොයා කබරගොයා කරගන්නවා
හානිපූර්ණ කාර්යාල පනත එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට වන්දි දීමට සූදානම් වන පනතක් ලෙස ඒකාබද්ධ විපක්ෂය හඳුන්වන අතර, ඒ පිළිබඳ විවිධ චෝදනා එල්ල කරමින් සිටියි. බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදීද එය යළි කරළියට පැමිණියේ මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී කළ කතාවේදීය. විමල් මෙසේ කියන්නට විය.
ත්රස්තවාදීන්ට වන්දි දෙන්න යනවා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ තාත්තාව මරපු කොටියටත් වන්දි දෙන්න යනවා. ගාමිණී දිසානායක මහත්තයාව මරපු කොටියගේ පවුලටත් වන්දි දෙන්න යනවා. අහිංසක සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට වන්දි දුන්නට කමක් නැහැ. නමුත් ජය ශ්‍රී මහා බෝධියට ගහලා මැරිච්චි කොටියගේ පවුලට වන්දි දෙනවා. දළදා මාලිගාවට ගහලා මැරිච්ච කොටියගේ පවුලට වන්දි දෙනවා. කාන්තක්කුඩි මුස්ලිම් දේවාලයට ගහලා මැරිච්ච කොටියට වන්දි දෙනවා. කදිරගාමන්ර් මරපු කොටියට වන්දි දෙනවා. මේ රට විසකුරු ගල මත යන්නෙ.’
විමල්ට පසු කතා කරන්න වූයේ මන්ත්‍රී මුජුර් රහුමාන්ය. විමල්ට මුජුබර් මෙසේ පිළිතුරු ලබාදුනි.
‘කොටින්ට අපි මුදල් දෙනවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා. සංහිඳියාව ඇති කරන්න ලේසි නැහැ. යුද්ධයෙන් පස්සේ එල්.ටී.ටී.ඊ. තරුණයෝ දොළොස්දාහක් පුනරුත්ථාපනය කරලා එළියට දැම්මා. උතුරු නැගෙනහිර ඡන්දය දින්නත් මේ විදිහට එළියට දැම්මා.’
එවිට බාධා කරමින් විමල් මෙලෙස පැවසීය.
‘කොටි සංවිධානයේ හිටපු අය පුනරුත්ථාපනය කරලා ඔවුන්ව නිවැරදි මගට ගෙනැවිත් සමාජගත කරන්න එපා කියලා අපි කියන්නේ නැහැ. ඒක එක දෙයක්. අපි ඒකට එකඟයි. නමුත් ඔවුන්ට වන්දි දෙන්න යන එක වැරදි ආදර්ශයක්.’
එයද උපයෝගී කරගමින් නැවත මුජුබර් මෙලෙස කීවේය.
‘ආආ ඔබතුමා දැන් හොඳ ආදර්ශයක් දුන්නා. ඔබතුමා කිව්වා දළදා මාලිගාවට ගහපු, අරන්තලාව භික්ෂු ඝාතනය කරපු, කාතාන්කුඩිය මුස්ලිම් ජනතාව මරපු ඒ අයටත් අපි සල්ලි දෙනවා කියලා. හරි දැන් ප්‍රශ්නේ ඉවරයිනේ. මේ රටේ සිවිල් යුද්ධයක් වුණා. ඒ යුද්ධයේදී සිංහල, දෙමළ, මුස්ලිම් හැමෝටම හානි වුණා. සමහර තරුණයො වැරදි මාවතක ගියා. ඔවුන් හරි මාවතේ ගෙනයෑමට රජයක් හැටියට අපට වගකීමක් තිබෙනවා. මේ දේම හැත්තෑවෙත් වුණා. අසූනවයෙත් වුණා. අසූනවයේ ඔබතුමයි, මමයි එකවේදිකාවේ ඉඳන් ඒ සිංහල තරුණයෝ නිදහස් කරන්න කිව්වා. ඔබතුමාට දැන් ඒවා මතක නැද්ද දන්නේ නැහැ. දකුණේ තරුණයන්ටත් ඒ නීතිය නම්, උතුරේ තරුණයන්ටත් ඒ නීතිය තිබෙන්න ඕන. සියලු කැරලි ගැන මේ හානි පූර්ණ පනතේ ඇතුළු කරලා තිබෙනවා. සියලු දෙනාටම එක නීතියක් ගේන්න අපි හදන්නේ.
නමුත් මෙතුමන්ලා කන්න වුණාම තලගොයා කබරගොයා කරගන්නවා. එහෙමයි මෙතුමන්ලාගේ ඉතිහාසය. දළදා මාලිගාවට බෝම්බ ගහපු, අරන්තලාව භික්ෂු ඝාතනය කරපු, කරුණා අම්මාන් එක්ක ආණ්ඩු කරපු එක මෙතුමාට මතක නැහැ.’
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd