කොලොම්බියානු කණ්ඩායමෙන් එල්ල වූ දැඩි අභියෝගය මනාව පාලනය කරගත් ජපන් ක්රීඩකයෝලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘එච්’ කාණ්ඩය යටතේ ඊයේ (19දා) රුසියාවේ මොර්ඩෝවියා එරීනා ක්රීඩාංගණයේ පැවැති තරගයෙන් ගෝල 2-1ක් ලෙස ජයගැනීමට සමත් වූහ.
තරගය ආරම්භ වී මිනිත්තු 03ක් ඉක්ම යද්දී කොලොම්බියානු මැදපෙළ ක්රීඩක කාලෝස් සන්චෙස් මොරෙනෝට (පන්දුවට අතින් ගැසීම හේතුවෙන්) රතු කාඩ්පතක් හිමි වූ අතර, එනිසා තරගය ක්රීඩකයන් 10 දෙනෙකුගෙන් ක්රීඩා කිරීමට කොලොම්බියාවට සිදු විය.
එම නීති විරෝධී ක්රියාව හේතුවෙන් ජපානයට දඬුවම් පහරක් හිමිවූ අතර,ඉන් උපරිම ප්රයෝජන ගෙන 06 වැනි මිනිත්තුවේදී එය සාර්ථක කරගැනීමට ශින්ජි කගාවා සමත් විය. එහෙත් තරගයේ පාලනය යළිත් කොලොම්බියාව වෙත නතු කරගැනීමට කොලොම්බියානු මැදපෙළ ක්රීඩක ජුවාන් ෆර් නැන්දෝ සමත් වූ අතර, තරගයේ 39 වැනි මිනිත්තුවේදී ලැබුණු නිදහස් පහරක් ගෝලයක් බවට පරිවර්තනය කරගැනීමට ඔහු සමත් විය.
ඒ අනුව පළමු අර්ධය නිමා වූයේ දෙපිළටම වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරමින් ගෝල 1-1ක් ලෙස සමවෙමිනි.
කෙසේ වෙතත් දෙවැනි අර්ධය තුළ දැඩි සටන්කාමීත්වයක් දෙපිළම පෙන්නුම් කළ අතර, තරගයේ 73 වැනි මිනිත්තුවේදී ජපානයේ ප්රහාරකයා වන යුයා ඔසාකා ගෝලයක් වාර්තා කිරීමත් සමග තරගයේ ජයග්රහණය ජපානය දෙසට දෝලනය විය.
ලෝක කුසලාන පාපන්දු තරගාවලියකදී ආසියානු රටක් දකුණු ඇමෙරිකානු කණ්ඩායමක් පරාජයට පත් කළ පළමු අවස්ථාව ලෙසද මෙම තරගය ඉතිහාසයට එක් විය.