වර්තමානයේ ලැප්ටොප් පරිගණක නිෂ්පාදනය කරනා ප්‍රධාන පෙළේ සමාගම් සෑම එකක්ම පාහේ වැඩි දියුණු කිරීමට වෙහෙසෙන කරුණු ගණනාවක් තිබේ. එයින් එකක් වන්නේ සිහින්, හුරුබුහුටි නිමාවෙන් යුතු ලැප්ටොප් උපාංගයන් වෙත වඩාත් ප්‍රබල බැටරි බලයක් ලබාදීමයි. තවමත් අඩු තරමින් පැය විස්සක් හෝ එක දිගට භාවිත කළ හැකි ආකාරයේ බැටරි බලයන් සහිත ලැප්ටොප් උපාංග වෙළෙඳ පොළේ ප්‍රායෝගිකව දක්නට නොලැබේ. Microsoft සමාගම සහ Qualcomm සමාගම එකතු වී එළිදක්වන පළමු ARM ප්‍රොසෙසරයකින් බලගැන්වෙන Windows 10 ලැප්ටොප් උපාංගයට දිනයක් පුරා බැටරි බලය රැකගනිමින් පරිශීලකයාට සේවය සැපයිය හැකි යැයි මයික්‍රොසොෆ්ට් විසින් උදම් අනන්නේ මේ අතරවාරයේදීයි.
මෙතෙක් කල් Qualcomm Snapdragon 835 වැනි ප්‍රොසෙසරයන් ස්මාට්ෆෝනයන් සමගින් විනා ලැප්ටොප් සමගින් යෙදෙනු අසන්නට නොලැබුණත්, මේ වනවිට HP, Lenovo, ASUS වැනි සෑම ප්‍රධාන ලැප්ටොප් නිෂ්පාදකයෙකුම Qualcomm Snapdragon 835 ප්‍රොසෙසරය තම නිර්මාණයන්ට ඇතුළත් කරන්නට පටන් ගෙන තිබේ. කෙසේ වෙතත් මයික්‍රොසොෆ්ට් සමාගමේ මෙම ලැප්ටොප් උපාංගය සමගින් Qualcomm Snapdragon 835 ප්‍රොසෙසරය මගින් බලගැන්වෙන පළමු Windows 10 පරිගණකය බවට මෙය පත්වනු ඇත.
මේ සමගින් බොහෝ දෙනෙකුට පැන නගිනා ගැටලුව වනු ඇත්තේ ARM ප්රොසෙසරයන්ට සාමාන්‍ය වින්ඩෝස් මෘදුකාංග ධාවනය කළ හැකි වනු ඇතිද යන්නයි. මෙයට පිළිතුරක් ලෙසින් මීට පෙර මයික්‍රොසොෆ්ට් සමාගම මගින් Windows 10 මෙහෙයුම් පද්ධතියේ ARM සංස්කරණය මත ෆොටෝෂොප් ධාවනය කරවා පෙන්වන ලදී. අසන්නට ලැබෙන ආකාරයට මයික්‍රොසොෆ්ට් සමාගම විසින් සාම්ප්‍රදායික x86 මෘදුකාංග මෙම නව ARM ප්‍රොසෙසරයන් සහිත උපාංගයන් තුළ ධාවනය කළ හැකි පරිදි විශේෂ එමියුලේටරයක් (වෙනත් පද්ධතියක් සඳහා නිර්මාණය කරනු ලැබූ මෘදුකාංග තවත් පද්ධතියක් මත ධාවනය කිරීම සඳහා අවකාශ සලසා දෙන මෘදුකාංග හෝ දෘඪාංග පද්ධතියක්) නිර්මාණය කොට ඇත.
මෙම Windows 10 ලැප්ටොප් උපාංගයේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ එය සෑම විටම පණ ගැන්වී තිබීමයි. එසේම එයට රැහැන් රහිත LTE සම්බන්ධතාව ඔස්සේ සෑමවිටම සම්බන්ධතාව පවත්වා ගනිමින් ක්‍රියාත්මක වීමටද හැකියාව තිබේ. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, ඔබේ ටැබ්ලට් උපාංගය හෝ ස්මාට්ෆෝනය හෝ මෙන් මෙම ලැප්ටොප් උපාංගයද දිග හැරි විට ස්වයංක්‍රීයව ඔබ වැඩ කරමින් සිටි තැන සිට සියලු දේම ආරම්භ වනු ඇත. එසේම ඔබට ලැප්ටොප් උපාංගයේ තිරය පහත හෙළා, බැටරිය ගැන වද නොවී සිටීමටද හැකියාව තිබේ. පෙනෙනා ලෙසට නිරන්තරයෙන් LTE සම්බන්ධතාව හරහා සම්බන්ධව සිටියද, එයින් මෙම ලැප්ටොප් උපාංගයේ බැටරිය ඉක්මනින් බැස නොයයි.
දැනට මෙම ලැප්ටොප් උපාංගයන් තුළ ඇති Windows 10 මෙහෙයුම් පද්ධතිය පරිශීලකයින් හට නොමිලේම Windows 10 Pro දක්වා යාවත්කාල කිරීමට හැකියාව තිබෙනා අතර, ඒ මගින් සම්පූර්ණ ඩෙක්ස්ටොප් ඇප්ස් භාවිත කිරීමේ හැකියාව ලැබෙනු ඇත. එසේම මයික්‍රොසොෆ්ට් මගින් මෙම Qualcomm Snapdragon 835 චිප්සෙට් හරහා බලගැන්වෙන ලැප්ටොප් වෙනුවෙන්ම නිර්මාණය කළ විශේෂ Windows 10 සංස්කරණයක් භාවිත කරනා බැවින්, Windows ඇප්ස් මෙහි ක්‍රියාත්මක කරවීම සඳහා විශේෂ එමියුලේටරයේ සහාය අවශ්‍ය නොවේ. කෙසේ වෙතත් මේ හා ක්‍රියාත්මක වන්නේ 32-bit මෘදුකාංග මිස 64-bit මෘදුකාංග නොවේ. දැනට අසන්නට ලැබෙනා ලෙසට මයික්‍රොසොෆ්ට් ඔෆිස්, ෆොටෝෂොප්, ක්‍රෝම් වැනි බොහෝ යෙදුම් කිසිදු ගැටලුවකින් තොරව මෙම ලැප්ටොප් උපාංගයන් තුළ ක්‍රියාත්මක වේ.
කෙසේ වෙතත් සැබෑ ගැටලුව වන්නේ මෙවැනි ලැප්ටොප් උපාංගයන් පරිශීලකයින්ට අවශ්‍ය වනු ඇතිද යන්නයි. මෙහි ඇති සැබෑ ආකර්ෂණය වන්නේ ස්මාට්ෆෝනයක් මෙන් ඔබට පැය 20-22 ත් අතර කාලයක් එක දිගට විවිධ යෙදුම් ක්‍රියාත්මක කරමින් වුවත් මෙම ලැප්ටොප් උපාංගයෙන් වැඩ ගැනීමට හැකිවීමත්, ස්මාට්ෆෝනයක් මෙන් සෑම මොහොතකම උපාංගය පණ ගැන්වී තිබීමත් වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. මෙම උපාංග දැනට Intel ප්‍රොසෙසරයන් පාදක කර ගත් වඩාත් බලවත් ලැප්ටොප් උපාංගයන් මෙන් ප්‍රබල පරිගණක හැකියාවක් ලබාදීමට සමත් නොවනු ඇතැයි අපට සිතිය හැකි. එය එසේ වුවත්, අනාගතයේ මෙම ARM ප්‍රොසෙසරයන් පාදක කරගත් ලැප්ටොප් උපාංග වඩවඩාත් පරිණාමය වනු ඇති බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවේ.