ශ්‍රී ලංකාවේ ගුවන් සීමාවේ ගුවන් යානා පාලනයට නව පද්ධතියක්
( භානුක අමරසිංහ ) 2017-11-14 11:08:20
Comments - 0       Views - 987

මෙරට ගුවන් සීමාව තුළ පියාසර කරන ගුවන් යානා පාලනයට හා අධීක්ෂණයට දැනට යොදා ගන්නා SSR නම් රේඩාර් පද්ධතිය වෙනුවට නව තාක්ෂණයෙන් යුත් හා අඩු වියදම්, පරිසර හිතකාමී පද්ධතියක් යොදාගැනීමට කටයුතු යොදන බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

2014 වසරේදී ආරම්භ කෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය කුලුනු සහ උපකරණ මේ වනවිටත් සම්පාදනය කරගනිමින් ඊට අදාළ කටයුතු ක්‍රියාත්මක කිරීමට යොදවා ඇතැයිද එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා සඳහන් කළේය.

ADS – B හෙවත් Automatic Dependence Surveillance – Broadcasting ලෙස මෙම නව පද්ධතිය හැඳින්වෙයි. මෙම තාක්ෂණය නිල වශයෙන් හඳුන්වාදීම හෙට (15දා) රත්මලාන ගුවන් තොටුපළේදී ආරම්භ කිරීමට නියමිතව තිබේ.

අත්හදාබැලීමක් ලෙස සිදුකරන මෙම කටයුතුවල කාර්යක්ෂමතාව සහ නිරුපද්‍රිතාව තහවුරුවීමෙන් අනතුරුව එය ගුවන් ගමන් පාලනය සඳහා යොදාගැනීමට බලාපොරොත්තුවයි.

ජී.පී.එස්. තාක්ෂණය හරහා ක්‍රියාත්මක වන මෙම පද්ධතිය මගින් ගුවන් යානා දෙකක් අතර පවතින පරතරය පිළිබඳව නිවැරදිව තොරතුරු ලබා දෙන බවත් නිමල්සිරි මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේදී මෙරට ගුවන් සීමාව තුළ පවතින ගුවන් යානා ධාරිතාව ඉහළ දැමීමේ හැකියාවක් මෙන්ම කාර්යක්ෂමතාව වැඩි කිරීමේ හැකියාවක්ද  පවතී.

“දැනට අපි භාවිත කරන්නේ SSR කියන රේඩාර් පද්ධතියයි. ඒ හරහා අපිට බැහැ රටේ සමස්ත ගුවන් අවකාශයේම තියෙන ගුවන් යානා පිළිබඳව දැන ගන්න. නමුත් මේ ADSB නම් තාක්ෂණය හරහා අපිට පුළුවන් ලංකාවේ භූමි සීමාවෙන් ඔබ්බට ගිහිල්ලා මුහුදු සීමාව තුළ පියාසර කරන ගුවන් ගමන් පාලනය කරන්න” යැයි  අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන්  කර සිටියේය.

ads

 

ශ්‍රී ලංකාවේ ගුවන් සීමාවේ ගුවන් යානා පාලනයට නව පද්ධතියක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :