මෙරට ගැබිනි මවුවරුන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකුට දියවැඩියාව
( නදීශානි පතිරණ ) 2017-11-14 09:49:57
Comments - 0       Views - 225

Diabetes treatment

බෝ නොවන රෝග බොහෝමයකට හේතුවී තිබෙන්නේ අයහපත් ආහාර පුරුදු , අයහපත් ජීවන රටා වැනි දේ බව අප කවුරුත් දන්නා කරුණකි.
පවුලක සෞඛ්‍යමත් බව රකින මවකට තම පවුල බෝ නොවන රෝගවලින් ආරක්ෂා කරගැනීම සඳහා කළ හැකි දේවල්ද බොහෝමය.
අද (14 දා) යෙදෙන ලෝක දියවැඩියා දිනයේදීද කාන්තාවන්, මවුවරුන් ලෙස අපට කතා කරන්නට ඉතිරිව ඇති දෑ රාශියකි. මේ ඒ පිළිබඳව පසුගියදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද මහතා දැක්වූ අදහස්ය. 
'මෙවර දියවැඩියා දිනයේදී අපි කාන්තාවන් දැනුම්වත් කරමින් ලෝක දියවැඩියා දින තේමාවත් සමග ගමන් කරන්නට අදහස් කළා. ලෝකය පුරාම ගත්තම කාන්තාවන් මිලියන 200ක් පමණ දියවැඩියා රෝගයට ගොදුරුව සිටිනවා. අපේ රටේ අපි අවසාන වශයෙන් සිදුකළ සමීක්ෂණයෙන් පෙනී ගියෙත් කාන්තාවන් දියවැඩියා රෝගයට ගොදුරු වීම වැඩියි කියන එකයි. 

දකුණු ආසියාකරේ ලංකාව ඇතුළු රටවල කාන්තාවන් අතර ස්ථුලතාව ඉතාම වැඩියි කියන එක කොහොමටත් ඔප්පු කර තිබෙන්නක්. ඉනවට ස්ථුලතාව කියන එක කොහොමටත් අපේ රටේ කාන්තාවන්ගේ වැඩියි. අනිත් ප්‍රශ්නය තමයි අපේ රටේ දියවැඩියා රෝගයට ගොදුරුව සිටින කාන්තාවන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙක් සිටින්නේ දරුවන් අපේක්ෂා කරන වයස් කාණ්ඩය තුළ. 
මෙන්න මේ නිසා අපේ රටේ ගර්භිණී මවුවරුන්ගෙන් 10% කටත් වඩා දියවැඩියා රෝගයට ගොදුරු වන තත්ත්වයකට ඇවිත් තිබෙනවා. ගර්භිණී මවක් දියවැඩියා රෝගයට ගොදුරු වුවහොත් මවටත් දරුවාටත් විවිධ සංකූලතාවන් ඇති වීමට හැකියාවක් තිබෙනවා. අනිත් එක තමයි ගර්භිණී සමයේ දියවැඩියා රෝගයට ගොදුරු වන මවුවරුන් අනිවාර්යයෙන් අනාගතයේ දෙවැනි කාණ්ඩයේ දියවැඩියා රෝගයට ගොදුරු වන බව දැකගන්නට ලැබෙනවා. 50%කට වැඩි පිරිසකට චර්යා රටා වෙනස් කරගැනීම මගින් මෙම තත්ත්වය වෙනස් කරගත හැකි බව සමීක්ෂණ මගින් ඔප්පු කර දී තිබෙනවා. 

මේ නිසා අපි සමාජයට ගිහින් කියන්න අවශ්‍යයි මොනවද මේ වෙනුවෙන් කරන්න පුළුවන් කියන එක පිළිබඳව. විශේෂයෙන් අපි දියවැඩියා රෝගය ගැන මිනිස්සු බය කරනවා කියලා කවුරු හරි කියන්න පුළුවන් . නමුත් අපි මේ රෝගය ගැන බය වෙන්න අවශ්‍යයි. බය කරලා විතරක් බැහැ රෝගය පාලනය කරන්න මොනවද කරන්න ඕන කියන එකත් කියල දෙන්න ඕන. මොකද දැනට කාන්තාවන් මිලියන 200ක් මේ රෝගයට ගොදුරුව සිටිනවා වගේම නුදුරු අනාගතයේ එය මිලියන 400ක් බවට පත් වීමට නියමිතයි.
ගර්භිණී සමයේ දියවැඩියා තත්ත්වය ගැන අවධානය යොමු කිරීම මේ නිසා ඉතාම වැදගත්. විශේෂයෙන් අපි කියන්න අවශ්‍යයි තරුණ වයසේ සිටින ගැහැනු දරුවන් නිරෝගිමත් කරන්න අපි උත්සාහ ගතයුතුයි . මේ දැරියන් ඕනෑවට වඩා මහත් වීම වගෙම ඕනෑවට වඩා කෙට්ටු වීමටත් ඉඩ නොදිය යුතුයි. ඒ නිසා සමබර ආහාර වේලකට ඔවුන්ව හුරුකළ යුතුයි. 

එවිට ඔවුන් ස්ථුලතාවෙන් තොර මෙන්ම දියවැඩියාවෙන්ද තොර නිරෝගී අය ලෙස වැඩෙනවා. මේ දැරියන් ස්ථුලතාවෙන් තොරව වැඩෙන විට ඔවුන් ගර්භිණී සමයේ දියවැඩියා තත්ත්වයට ගොදුරු වන්නේ නැහැ. අපි සමාජයක් ලෙසත් කාන්තාවන් දියවැඩියා රෝගයට ගොදුරු වීම වළක්වා ගන්නට ක්‍රියා කළ යුතුයි . අපේ සමාජයේ හොඳ දේවල් කිහිපයක් තිබෙනවා. ඒවා හොඳයි කියලා වැඩිපුර කරලා නරක් කරගෙන තිබෙන ඒවා. උදාහරණයක් ලෙස අද උදෑසන ආහාර වේල අරන් මෙතැනට ආව අපි මෙතැනදී ලබාදුන් කැඳ කෝප්පය පානය කළා. ඇත්තටම මේ කැඳ කෝපය අපේ උදෑසන ප්‍රධාන ආහාරයට ඉතාම ප්‍රමාණවත්. අපි හිතනවා කැඳ හොඳයි කියලා . එහෙම බැලුවම අපි උදෑසන ආහාර වේල් දෙකක් අරන්. ඔය වගේ අපි හොඳයි කියලා කරන නරක දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන් අපේ සීනි ආහාරයට ගැනීම ගත්තොත් අපට කැලරි හැර වෙතත් කිසිදු දෙයක් ශරීරයට ලැබෙන්නේ නැහැ. විටමින් නැහැ, ඛනිජ ලවණ නැහැ, මේද අම්ල නැහැ, තන්තු නැහැ, ප්‍රෝටීන් නැහැ. ඉතින් සීනි පරිහරණය නැවත්වූවා කියලා කිසිම ගැටලුවක් නැහැ.

සීනි නිසා ඇතිවෙන සෞඛ්‍ය ප්‍රශ්න අපට දවස් ගණනක් වුණත් කතා කරන්න පුළුවන්. ආහාර ලබාගැනීමේදීත් අපි හොයලා බලන්න ඕන අපට ඒවායින් ලැබෙන පෝෂණය ගැන. කැඳ, කුරක්කන් වගේ දේවල් හොඳ වුණාට ඒවා වැඩිපුර ගන්න හොඳ නැහැ. අපි බලන්න ඕන මේ ආහාර අනෙකුත් ආහාර සමග පෝෂණය ලැබෙන ලෙස ගළපා ගැනීමට. මේවා අපේ සාම්ප්‍රදායික ජීවන රටා එක්ක ආව ආහාර. අපේ ගම්වල සීයලා කුඹුරු කොටන්න යද්දී මැෂින් වගේ වැඩ කරන්න කැලරි අවශ්‍යයි. උදේම බඩ හිස්ව යන්න බැරි නිසයි ඔවුන් කැඳ හෝ දියබත් ආහාරයට ගත්තේ. නමුත් අද අපේ ජීවන රටාවත් එක්ක අපි කැඳත් බීලා, උදේට ආහාර වේලකුත් ගත්තොත් අපට ස්ථුලතාවට තමා ගොදුරු වෙන්නට සිදුවෙන්නේ. ඒ නිසා අපි හොඳයි කියලා ගන්න දේවල් ගැන සැලකිලිමත් විය යුතු වගේම ඒවා ගන්නවා නම් අනෙක් ඒවගෙන් අඩු කරලා ගන්නේ කොහොමද කියන එකත් දැනගෙන සිටිය යුතුයි. 

විශේෂයෙන් තව දෙයක් කියන්න අවශ්‍යයි. අපේ ගෘහණියන් වෑංජනය පිසීමේදී හිතලා බලන්න ඕන. අපි බත් උයලා වැඩිපුරම හදන්නේ පරිප්පු. නැත්නම් පාන් එක්ක පරිප්පු. අපි පාසල් යන කාලයේ ඉගෙන ගත්තේ පරිප්පු ප්‍රෝටීන් අධික ආහාරයක් ලෙසට. නමුත් පරිප්පුවල වැඩි ප්‍රතිශතයක් තියෙන්නේ පිෂ්ටය . ඒ වගේම මුං ඇට, කඩල වගේ දේවල් බත් එක්ක ගත්තොත් අපි පිෂ්ටයමයි කන්නේ. අපි පිෂ්ටය කන එක අඩු කරන්න ඕන. වට්ටක්කා ,අල, බතල, කොස් ,දෙල් වගේ දේවල් වෑංජන ලෙස හදලා කන්න අපි හරි ආසයි. නමුත් අපි මේවා ගන්න ඕන අපේ ආහාරයේ අඩංගු පිෂ්ටය ගොඩටයි. බත් එක්ක මේවා වෑංජන විදිහට ගත්තොත් අපි ස්ථුලතාවට තමා පත් වෙන්නේ. නැත්නම් සීනි වැඩි වෙලා රෝගී වෙනවා. 

මේවා වෑංජන ලෙස ගන්නවා නම් අපි බත් අඩු කරන්න ඕන. අපි හැමෝම පෝෂණවේදීන් නොවෙයි. නමුත් කාන්තාවන් විශේෂයෙන් දැන ගන්න ඕන මේ ආකාරයට ආහාර පිළියෙල කළොත් ගෙදර අයට වැඩිපුරම ලබාදෙන්නේ පිෂ්ටය බව. 
අනික තමා හැම වේලකටම පිෂ්ටය නොවෙන එළවළු වර්ග තුනක්වත් සකස් කරන්න ගෘහනියකට හැකි විය යුතුයි. මැල්ලුම් වර්ග, සලාද වර්ග මෙයට ඇතුළත් කළ යුතුයි. මේවායෙන් අපිට තෙල්, පිෂ්ටය ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අපට තන්තු ලැබෙනවා. අහිතකර මේදය තැන්පත් වීම එමගින් අවම කරනවා. පිළිකා ඇති වීමේ අවදානම අඩු කරනවා. ඒ වගේම අපි සර්වභක්ෂක සතුන් විදිහට මස්, මාළු ආහාරයට ගතයුතුයි . විශේෂයෙන් මාළු හරි ගුණයි.

'අපේ රටේ බිත්තර ආහාරයට ගැනීම ගැන ලොකු බියක් තියෙනවා. ඒකට වෛද්‍යවරුන් වගකිවයුතුයි. බිත්තරවල කොලෙස්ටරෝල් තිබෙනවා කියලා ඔවුන් පැවසුවා. වෛද්‍ය විද්‍යාව නොදියුණු කාලයේ බිත්තර හොඳ නෑ කිව්වා මේ නිසා. නමුත් හරියට සිදුකළ පර්යේෂණවලින් තහවුරු වුණා බිත්තර කෑම නිසා කොලෙස්ටරෝල් වැඩි නොවන බවට. දියුණු රටවල දිනකට බිත්තර දෙකක් කන්න කියලා බය නැතිව පෝෂණවේදීන් උපදෙස් දෙනවා. බිත්තරවල උසස් තත්ත්වයේ ප්‍රෝටීන් රැසක් අඩංගුයි. විටමින් වර්ග රැසක් තිබෙනවා. මේ නිසා වැරදි පෝෂණ මතවලිනුත් බැහැර වීම වැදගත්'.

 

මෙරට ගැබිනි මවුවරුන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙකුට දියවැඩියාව සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :