රනිල්ට එරෙහි ජාතිකවාදීන්ගේ අවසානය
( . . ) 2017-10-30 09:56:59
Comments - 0       Views - 1010

පසුගිය සතියේ ලංකාවේ දේශපාලනය ගිනියම් කළ කාරණා දෙකක් සිදු විය. එනම් යහපාලන ආණ්ඩුවේ යෝජිත නව ව්‍යවස්ථාවට පක්ෂ වන්නන්ට මරණ දඬුවම ලබාදිය යුතු බව කුප්‍රකට සොල්දාදුවෙකු ප්‍රකාශ කිරීමත්, විමල් වීරවංශ මන්ත්‍රීවරයා තමන්ද නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තුවට බෝම්බ ගැසිය යුතු බව ප්‍රකාශ කිරීමත්ය. 

මේ කාරණා දෙක මගින් යහපාලන රජයේ පැවැත්ම තවදුරටත් ස්ථාවර වූ අතර යහපාලන රජය පවත්වාගෙන යායුතු වන්නේ සහ එසේ පවත්වාගෙන යාමට සහයෝගය දිය යුතු බව මේ රටේ සිවිල් ජනතාවට මතක් කරදීමකි. මන්දයත් රාජපක්ෂවරුන්ගේ දස වසරක පාලන කාලය තුළ මේ රටේ ජාතියේ නාමයෙන්, ආගමේ නාමයෙන් සිදු වූ අකටයුතුකම්වල නිමක් නොතිබිණි. පාතාලයේ මත්කුඩු වෙළෙන්දාගේ සිට ලලිත් කොතලාවල දක්වා සියලුම පන්තිවල සියලුම මට්ටමේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් කප්පම් ගැනීම්වලට, අතුරුදන්වීම්වලට, ප්‍රසිද්ධියේ මරාදැමීම්වලට හා හිරේ විලංගුවේ වැටෙන අභූත චෝදනාවලට ලක්විණි. එම දසවසර තුළ යහමින් මුදල් හදල් තිබීම, ලාභ ලැබීම, සාර්ථක ව්‍යාපාරයක නිරත වීම දිවි නසාගන්නා වැඩක් බවට පත්ව තිබිණි. රාජපක්ෂවරුන්ට හා ඔවුන්ගේ සහචරයන්ට හැර වෙනත් කිසිවෙකුට එම පාලන ක්‍රමය තුළ ව්‍යාපාරයක යෙදීමේ හැකියාවක් නොවිණි. එසේ යෙදුණහොත් තමන්ගේ මරණ වරෙන්තුව ලියාගත්තා වැනිය. මෙම අපරාධකාරී තත්ත්වය පවත්වාගෙන යනු ලැබුවේ බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නාමයෙනි.   
එමෙන්ම රාජපක්ෂවරුන්ගේ එම දසවසර තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තිබුණාදැයි කිසිවෙකුටත් සිහි නිච්චියක් නොතිබිණි. රටේ මුදල් පාලනයේ බලතල ඇත්තේ පාර්ලිමේන්තුව සතුව වුවත් පාර්ලිමේන්තුවෙන් අසා කිසිදු වියදමක් සිදු නොකළ අතර, පාර්ලිමේන්තුවේ මුදල් බලතල පවත්වාගෙන ගියේ අයවැය නාඩගම නටා ජාතික රූපවාහිනියේ සහ ස්වාධීන රූපවාහියේ පෙන්වීමට පමණි. රාජපක්ෂ ජනාධිපතිවරයාට අභිමතයක් තිබුණි නම් රටේ ඕනෑම මුදලක්, ඕනෑම අරමුදලක් විනාඩි ගණනක් ඇතුළත වියදම් කිරීමට හැකියාව තිබිණි. ඒ සඳහා හොඳම උදාහරණය හිටපු ජනාධිපති ලේකම්වරයා සිරගත වූ සිල්රෙදි වංචා කිරීමේ මහා නඩුවයි. එම නඩුවේදී රුපියල් මිලියන හයසියයක් මැතිවරණය පවත්වද්දී එම මැතිවරණ අපේක්ෂකයෙකු වූ ජනාධිපතිවරයාගේ එක දුරකථන ඇමතුමකින් නිදහස් විය. එම තත්ත්වය රටේ මුදල් බලතල සම්බන්ධයෙන් උගන්ඩාවේ ඉඩිඅමීන්ගේ පාලන කාලයටත් වඩා පරාජිත වූ තත්ත්වයකි. මන්දයත් ඉඩිඅමීන් උගන්ඩාව පාලනය කළ සමයේ පලස්තීන කැරලිකරුවන් විසින් ඊශ්‍රායල් ගුවන් යානයක් පැහැරගෙන කම්පාලා ගුවන්තොටුපොළට රැගෙන ගිය අවස්ථාවේ එම ජනතාවගේ සහ කැරලිකරුවන්ගේ වියදම් පියවීමට ඉඩිඅමීන් පාර්ලිමේන්තුවෙන් අවසර ගත්තේය. නමුත් මිලියන හයසියයක් වියදම් කිරීමට රාජපක්ෂවරු විදුලි සංදේශ නියාමන කොමිසමේ (එම මුදල් අයත්) අධ්‍යක්ෂ මණ්ඩලයෙන්වත් අවසර ගත්තේ නැත. මේ සියල්ල රාජපක්ෂවරු සිදුකරන ලද්දේ සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නාමයෙනි.  

නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන්ද රාජපක්ෂවරුන්ගේ දශකයේදී අපූරු පූර්වාදර්ශයක් මෙරට ජනතාවට ලබා දී තිබිණි. යුද්ධය ජයග්‍රහණය කළ හමුදාපතිවරයා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයකට ඉදිරිපත් වීම හේතුවෙන් කුදලාගෙන ගොස් හිරේ විලංගුවේ දැමුවේය. රටේ අග්‍රවිනිශ්චයකාරවරිය තම ආණ්ඩුව යෝජනා කරන ලද පනතකට විරුද්ධ වීම නිසාවෙන් පැය විසිහතරක් තුළ කැකිල්ලේ නඩු ක්‍රියාවලියකට යටත්කොට ධුරයෙන් පහ කරන ලද අතර, ඉතාම නින්දා සහගත ලෙස ඇය ධුරයෙන් පහකර පැයක් ඇතුළත රාජපක්ෂවරයාගේ සම්බැට්ටයන් ලවා නිල නිවසෙන්ද එළියට ඇද දැම්මේය. මේ සියල්ලද සිදුකරන ලද්දේ සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නමිනි.

එසේම 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට අධික ලෙස මුදල් ගෙවා තුනෙන් දෙකේ ඡන්දය ලබාගෙන තම පවුලට රට ප්‍රවේණි භුක්තියට ලබාගැනීමට කටයුතු කරන ලද්දේ බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නමිනි.
ප්‍රභාකරන්ට විරුද්ධව සිදුකරන ලද යුද්ධයේදී කිසිදු පදනමක් නැතිව යටත්වූවන් මරා දමමින්, රෝහල්වලට හා අනාථ නිවාසවලට ගුවන් ප්‍රහාර එල්ල කරමින්, කුසගින්නේ සිටි සිවිල් ජනතාව මතට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කිරීමට නියෝග දෙමින් කටයුතු කරන ලද්දේද, එසේම නිරායුධ මුස්ලිම් ජනතාව මතට ඥානසාරලා ලවා ප්‍රහාර එල්ල කරමින් මුස්ලිමි විරෝධයක් ගොඩනැගුවේද, එසේම කතෝලික පල්ලිවලට ප්‍රහාර එල්ල කරමින් එම දශකය තුළ ශ්‍රී ලංකාව සුළු ජාතීන්ට හා අවශේෂ ආගම් අදහන්නන්ට අනාරක්ෂිත රටක් බවට පත්කරනු ලැබුවේද බුද්ධාගමේත්, සිංහල ජාතියේත් නාමයෙනි.

එම දශකය තුළ රාජපක්ෂවරුන් සිංහල ජාතියේත්, බුද්ධාගමේත් නාමයෙන් අකටයුතුකම්වල යෙදෙද්දී එවකට දුර්වලව තිබූ විපක්ෂය හා එක්සත් ජාතික පක්ෂය සමග මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, ආරක්ෂාව සලසාදීමට, එසේම මහමග මියැදෙමින් තිබූ ජනමාධ්‍යවේදීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමට, ජනතාව මුහුණදෙමින් තිබූ මෙම ශෝකාන්තයෙන් ගොඩගැනීමට එක්සත් ජාතික පක්ෂය තවදුරටත් සියලු ජාතීන්ට, සියලු ආගම්වලට ආරක්ෂාව සලසන පක්ෂයක් බවට පවත්වාගෙන යාමට, එක්සත් ජාතික පක්ෂයේ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දහසකුත් බාධක මැද ගත් තීන්දුවට රටේ ජනතාවගේ ප්‍රණාමය පුදදිය යුතුය. රටේ සීලාචාර ජනතාව යහපාලන කෙරෙහි බලාපොරොත්තු ඇති කරගෙන ඇත්තේත්, ආර්ථික වර්ධනය පිළිබඳ බලාපොරොත්තු ඇති කරගෙන ඇත්තේත් රනිල් වික්‍රමසිංහ මහතා එදා කළ කැපකිරීම් නිසාය.

එදා දේශපාලනය තුළ සිංහල ජාතියත්, බුද්ධාගමත් අපහරණය කළ ආකාරය කොතෙක්ද යත් පන්සිල් පද පහ කටපාඩමින් කිව නොහැකි රාජපක්ෂවරුන්ගේ සියලු අකටයුතුකම් සිංහල ජාතිය හා බුද්ධාගම නමැති පිරුවටයෙන් වසා මේ රටේ ඡන්දදායකයන් නොමග යැවීය. එහි බලපෑම අඩු වැඩි වශයෙන් ලැබූ එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරය තුළ බුද්ධාගම හා සිංහල ජාතිය දේශපාලන උපකරණයක් ලෙස භාවිත කළ යුතු බවට විශාල උද්ඝෝෂණයක් පැවතුණි. පක්ෂ අභ්‍යන්තරයේ පැවැති මෙම උණුසුම කෙතරම් උත්සන්න වූයේද යත් සිංහල බෞද්ධ, රෙදි බැනියම් අඳින නායකයන්ට එක්සත් ජාතික පක්ෂයේ අධිපති මතය මෙහෙයවීමට අවස්ථාව දියයුතු බවට කැරලිකාර තත්ත්වයක්ද ඇති විය. නමුත් මේ සියලු කුණාටු මැද බුද්ධාගමත්, සිංහල ජාතිකත්වයත් පිළිබඳ හොඳ දැනුමක් හා හැඟීමක් තිබූ දුරදක්නා නායකයෙකු වූ රනිල් වික්‍රමසිංහ ආගම හා ජාතිකත්වය දේශපාලන උපකරණයක් ලෙස භාවිත කරනවා වෙනුවට, එක්සත් ජාතික පක්ෂය සියලු ජාතීන්ට, සියලු ආගම්වලට අවස්ථාව ලබාදෙන එක්සත් ජාතික පක්ෂයක් ලෙසත්, එය රටේ ආර්ථික සංවර්ධනය හා යහපාලනය ඇති කිරීම සඳහා වූ දේශපාලන ව්‍යාපාරයක් ලෙසත් පවත්වාගෙන ගියේය. එහි ප්‍රතිඵලයක් ලෙස 2015 ජනවාරි 08 වැනිදා වර්තමාන රජය බිහිවිය. ඒ සඳහා මේ රටේ ශීලාචාර ජනතාව එක්සත් ජාතික පක්ෂය හා අත්වැල් බැඳගෙන රාජපක්ෂවරුන්ගේ වනචර දශකය පරාජය කළේය. තවදුරටත් බුද්ධාගම හා සිංහල ජාතිකත්වය දේශපාලන උපකරණයක් නොවන අතර ඒවා සමාජ සංස්ථා ලෙස ආරක්ෂා වෙමින් කටයුතු කරමින් සිටින්නීය.

 

රනිල්ට එරෙහි ජාතිකවාදීන්ගේ අවසානය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :