ගලෙන්බිඳුණුවැව, හුරුලුවැව, කරඩිකගල ආසන්නයේ වැව් පිට්ටනියේදී ඉදිරිපාදයට වෙඩි වැදීමෙන් දැඩි වේදනාවෙන් හා අසීරු තත්වයෙන් පසුවන ඇතින්නක් සහ ඇගේ වසරකටත් අඩු වයසැති පැටවා අතිශය අසරණ තත්වයට පත්ව සිටිති.
අඩි 9කට ආසන්න උසකින් යුත්, වයස අවුරුදු 20ක් පමණ වන මෙම ඇතින්නගේ ඉදිරි පාදයකට වෙඩි වැදීමක් සිදුව ඇති බවට සැක කෙරෙන අතර, මේ වන විටත් ඇයට අඩියක්වත් ඉදිරියට තැබීමට නොහැකි වී තිබේ.
ගම්වාසීන් විසින් මේ පිළිබඳව කරන ලද දැනුම් දීමට අනුව මොරගොඩ වනජීවී කාර්යාලයේ නිලධාරීන් පිරිසක් අද සවස එම ස්ථානයට පැමිණ ඇතින්න සහ පැටවා නිරීක්ෂණය කර ඇත.
මෙම ඇතින්න සහ පැටවා මීට පෙර මානන්කට්ටිය වැව ප්‍රදේශයේද සැරිසැරූ සතුන් දෙදෙනෙකු ලෙස වනජීවී නිලධාරීන් විසින් හඳුනාගෙන තිබේ. මීට පෙර අලි රංචුව සමඟ සිටීම හේතුවෙන් මෙම ඇතින්නට ප්‍රතිකාර කිරීමට නොහැකි වූ බවත්, මේ වන විට ඇය රංචුවෙන් වෙන්ව තනිව පසුවන බැවින් ඉදිරියේදී කඩිනමින් ප්‍රතිකාර ලබා දීමට පියවර ගන්නා බවත් වනජීවී නිලධාරීන් පැවසීය.
ගලෙන්බිඳුණුවැව - චින්තක ක්‍රීෂාන්ත බාලසූරිය



