ෂැන්ග්හයි නුවරදී පැවැත්වුණු ලෝක කෘත්‍රිම බුද්ධි සමුළුව


කෘත්‍රිම බුද්ධි ජාත්‍යන්තර ආයතනය (Artificial Intelligence International Institute) මගින් සංවිධානය කෙරුණු World Artificial Intelligence Conference 2025 (WAIC) සමුළුව සහ ප්‍රදර්ශනය පසුගියදා චීනයේ ෂැන්ග්හයි නුවර ෂැන්ග්හයි වර්ල්ඩ් එක්ස්පෝ සෙන්ටර්හිදී පැවැත්වුණි. 

2018 වසරේදී ආරම්භ වුණු මෙම සමුළුව මෙවර පැවැත්වී ඇත්තේ හත්වැනි වතාවටයි. මෙහිදී චීනය ඇතුළුව ලොව තාක්ෂණික සමාගම් මගින් නිර්මාණය කළ කෘත්‍රිම බුද්ධි වැඩසටහන්, රොබෝ යන්ත්‍ර ඇතුළු නවෝත්පාදන රැසක් ඉදිරිපත් කර තිබුණි.

මේ අතර චීනය මෙවර සමුළුවට සහ ප්‍රදර්ශනයට සමගාමීව කෘත්‍රිම බුද්ධිය ගෝලීය පාලනය සදහා ක්‍රියා සැලැස්මක් (Global AI Governance Action Plan) ඉදිරිපත් කිරීමටද කටයුතු යොදා තිබුණි. ඒ අනුව චීනයේ අගමැති ලී කුයිආන්ග් විසින් චීනයේ මෙම අනාගත කෘත්‍රිම බුද්ධි දැක්ම එළිදැක්වීම සිදු කෙරුණු අතර, මෙම අවස්ථාව සදහා ලොව පුරා රටවල් 40කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් තාක්ෂණික දැවැන්තයන් රැසක් සහභාගි වී සිටියහ.

මෙහිදී අදහස් දක්වා සිටි චීන අගමැතිවරයා, “සමස්තයක් විදියට ගත්තම ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලනය තවමත් යම් අර්බුදයක තියෙන්නේ. ලෝකයේ රටවල් එකිනෙකට වෙනස්. විශෙෂයෙන්ම නියාමන සංකල්ප, ආයතනිකම නීති එතැනදී බලපානවා. කොහොම වුණත් අපි ගෝලීය කෘත්‍රිම බුද්ධි පාලන ක්‍රියාරාමුවක් ඇති කිරීමට ශක්තිමත් සහයෝගිතාවක් අවශ්‍යයි.“ යනුවෙන් පවසා තිබේ.

විශේෂයෙන්ම මෙම කෘත්‍රිම බුද්ධිය ලොව මානව සංවර්ධනයේ නව පෙරමුණ බවට පත් කරගත යුතු බව මෙම සදහා ක්‍රියා සැලැස්මේ මූලික අදහස වී තිබේ. ඒ අනුව සියල්ල එකට එක් වූ, විවෘත, තිරසාර, සාධාරණ, ආරක්ෂිත සහ සුරක්ෂිත ඩිජිටල් හා බුද්ධිමය අනාගතයක් සියලු දෙනාටම හිමි කරදීම මෙහි අපේක්ෂාව බවත් එහි සඳහන්ව තිබේ.
මෙහිදී එම සැලසුම මගින් කරුණු 13ක් ඉදිරිපත් කර තිබෙන අතර, ඉන් පළමු වැන්න වන්නේ කෘත්‍රිම බුද්ධී අවස්ථාවන් සියලු දෙනාම එකට එක්ව ළගා කරගැනීමයි. දෙවැන්න ලෙස කෘත්‍රිම බුද්ධීයේ නවෝත්පාදන සංවර්ධනයන් ප්‍රවර්ධනය කිරීම පවතී. තෙවැන්න වන්නේ කර්මාන්ත අතර කෘත්‍රිම බුද්ධිය බලගැන්වීම දියුණූ කිරීමයි. සිව්වැන්න ලෙස ඩිජිටල් යටිතල පහසුකම් දියුණු කිරීම වේගවත් කිරීම පවතී. පස්වැන්න විවිධාංගීකරණය වූ, විවෘත, සහ නවෝත්පාදන ක්‍රම්වදෙයක් නිර්මාණය කිරීමයි. 

හයවැන්න ලෙස ඉහළ ගුණාත්මක බවකින් යුත් දත්ත සැපයීම ප්‍රවර්ධනය කිරීමත් පවතී. හත්වැන්න වන්නේ බලශක්ති සහ පාරිසරික කාරණා පිළිබදව බලපෑම් සහගතව ප්‍රතිචාර දැක්වීමයි. ප්‍රමිතීන් සහ පිළිවෙත් පිළිබදව පොදු අවබෝධයක් ඇති කිරීම අටවැන්නයි. නව වැන්න වන්නේ රාජ්‍යය අංශය විසින් මෙම තාක්ෂණය යෙදවීමට මූලිකත්වය ගැනීමයි. 

කෘත්‍රිම බුද්ධීයේ සුරක්ෂිතතාව පිළිබඳව පාලනය දියුණූ කිරීම සහ ගෝලීය ඩිජිටල් සංයුක්ත ඒකාබද්ධ මුලපිරීම් දහවැන්න සහ එකළොස් වැන්නයි. දොළොස්වැන්න වන්නේ කෘත්‍රිම බුද්ධි ධාරිතා ගොඩනැගීම සඳහා ජාත්‍යන්තර සහයෝගිතාව ශක්තිමත් කිරීමයි. එසේම දහතුන්වැන්න ලෙස සියල්ල එක් වූ බහු-පාර්ශ්වීය පාලන මොඩලයක් ගොඩනැගීම යන්නත් ඇතුළත්ව තිබේ. 

විශේෂයෙන්ම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කෘත්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් වන පිටු 28 කින් සමන්විත කෘත්‍රිම බුද්ධි ක්‍රියා සැලැස්මක් ඉදිරිපත් කර දින කිහිපයකට පසුව චීනය මෙලෙස කෘත්‍රිම බුද්ධිය ගෝලීය පාලනය සදහා ක්‍රියා සැලැස්මක් ඉදිරිපත් කිරීමත් විශේෂත්වයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

 



Recommended Articles