නැගෙනහිර පලාතේ ප්‍රධාන සිවිල් ගුවන් තොටුපොලක් ලෙස සංවර්ධනය කර ගුවන්යානා මෙහෙයුම් සඳහා විවෘත කර ඇති මඩකලපුව ගුවන්තොටුපොල, රටේ ජාතික ආර්ථිකයට සවියක් වන අයුරින් ගුවන ආශ්‍රීත විනෝදාත්මක හා ත්‍රාසජනක ක්‍රීඩාවලට වෙන්වූ සංචාරක ගමනාන්තයක් ලෙස දියුණු කිරීමට යෝජනාවලියක් සකස් කරන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා පවසයි.
මීට අමතරව දෙස් විදෙස් සංචාරකයන් අතර, මඩකලපුව ගුවන්තොටුපොල කලාපයේ ඓතිහාසික පාරිසරික උරුමයන් සංචාරක වශයෙන් ප්‍රවර්ධනය කිරීම හරහා ගුවන්තොටුපොල ගුවන්යානා මෙහෙයුම් ඉහළ නංවා ගැනීම මෙම යෝජනා අතර වෙයි.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහ වරාය සහ ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත් රුවන් කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම මත ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා, අධ්‍යක්ෂ ජනරාල්කපිතාන් දමින්ද රඹුක්වැල්ල, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන රෙහාන් වන්නිඅප්පා සහ එම්. ඒ. කේ. ප්‍රසන්න යන මහත්වරුන්ඇතුළු සිවිල් ගුවන්සේවා සහ ගුවන්තොටුපොල නිලධාරීන් කණ්ඩායමක් පසුගිය දා එම ගුවන්තොටුපොලේ සිදුකරන ලද අධීක්ෂණ චාරිකාවකදී මෙම කරුණු අනාවරණය විය.
“මහජන බදු මුදල් යොදවා සංවර්ධනය කර රටේ දේශීය ගුවන්තොටුපොල ජාලයට එක්කර ඇති මෙම ගුවන්තොටුපොල අද වන විට අවම මෙහෙයුම් තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන බව අප නිරික්ෂණය කළා. එම තත්ත්වයෙන් මුදවා, රටේ මහජනතාවට වගේම ජාතික ආර්ථිකයට ප්‍රයෝජනයක් ගත හැකි අන්දමින් මෙම ගුවන්තොටුපොලට ගුවන්යානා ගෙන්වා ගත හැකි ක්‍රමවේදයන් පිළිබඳව සොයා බැලීම සිදුවුණා.
එහිදී හඳුනාගත් එක් කරුණක් තමයි, මෙම ගුවන්තොටුපොල සංචාරක ආකාර්ශණයට ලක්වූ ස්ථානයක් බවට පත් කිරීම. ඒ සඳහා උපායමාර්ගික සැලසුම් ලෙස ගුවන ආශ්‍රීතව ක්‍රියාත්මක කල හැකි විනෝදාස්වාදජනක සහ ත්‍රාසජනක ක්‍රියාකාරකම් සහිත ස්ථානයක් බවට පරිවර්ථනය කිරීම එක් යෝජනවක්. ඒ වගේම මේ ගුවන්තොටුපොල කලාපය ආකර්ෂණීය භූගෝලීය පිහිටීම භාවිතා කරමින් හා එහි ඓතිහාසික වටපිටාව සංවර්ධනය කරමින් සංචාරකයන්ට එහි පැමිනෙන්නට අවස්ථාව සළසා දීමත් අපේක්ෂා අතර පවතිනවා.
ඒ වගේම මේ ගුවන්තොටුපොලේ වත්මන් ධාරිතාවය සළකා එහි මෙහෙයුම් කල හැකි උපරිම ධාරිතාවයෙන් යුතු ගුවන්යානා මාඳිළින් ගෙන්වා ගැනීම සඳහා මෙහෙයුම්කරුවන් උනන්දු කරවීම තුලින් ද මගීන්ට වගේම ආයෝජකයන්ටත් යන දෙපාර්ශවයටම ලාභදායී වන අන්දමින් ගුවන්යානා මෙහෙයුම් වර්ධනය කිරීම වෙනුවෙන් ජාතික ගුවන්සේවා නියාමන ආයතනය ලෙස අවශ්‍ය අනුබලය ලබාදීමද අපේ සැලසුම් අතර පවතිනවා” යැයි ශ්‍රී ලංකා සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න මහතා එහිදී වැඩිදුරටත් පැවසීය.