ස්ත්‍රියකගේ ජීවිතයේ විවිධ අවධීන් සොඳුරු ලෙස නිරූපණය කෙරෙන කතා මාලාවක් ලෙස %ඈන්^ කතා මාලාව හැඳින්විය හැකිය. කැනේඩියානු ජාතික ලේඛිකා ලුසී මෝඩ් මොන්ටිමොගරි නම් කතුවරි‍ය විසින් රචනා කරන ලද මෙම කතා මාලාව කතා අටකින් සමන්විත වන අතර, මෙය සිංහලයට පරිවර්තනය කළේ ප්‍රවීණ පරිවර්තකයන් දෙපළක් වන ප්‍රේමසිරි මාහිංගොඩ සහ ප්‍රභාත් මිරිහාගල්ල යන මහතුන් විසිනි.

එක්දහස් නවසිය අට වර්ෂයේදී %Anne Of Green Gables නමින් එහි මුල් කෘතිය එළිදැක්වුණු අතර, එය සිංහල බසට පරිවර්තනය වූයේ %අරඹෙ ගෙදර ඈන්^ නමිනි. කැනඩාවේ එඩ්වර්ඩ් කුමාර දිවයිනේ, ඇවන්ලී නම් ගමෙහි වාසය කළ සහෝදර සහෝදරියන් දෙපළක් දරුකමට හදා ගැන්මට පිරිමි දරුවකු සොයද්දී, අහඹු ලෙස මුණගැසෙන්නේ ගැහැනු දරුවෙකි. ඇය නමින් ඈන් ෂර්ලි නම් වේ. ඈන් ෂර්ලි කුඩා අවධියේ සිට මැදි වයස දක්වාම දිවෙන ඈන් කතා මාලාව බාල, මහලු සැමටම රසවිඳිය හැකි අයුරින් නිර්මාණය වී තිබේ. ඈන් සිය ළමා අවධිය ඇවන්ලී නම් ගමෙහි යහළු යෙහෙළියන් සමග සොඳුරු ලෙස ගත කළ ආකාරය, එහිදී අධ්‍යාපනය ලැබූ ආකාරය, ඇයගේ දඟකාරකම් පිළිබඳව මෙහි පළමු කෘතියෙන් දිගහැරේ. ඈන් ඉගෙනීමටද දක්ෂ දැරියක වූවාය. කවි කතාන්දර ගෙතීමෙහිද ඇයට තිබුණේ අපූරු හැකියාවකි. ගෙදර දොරෙහි වැඩකටයුතු මෙන්ම ඉගෙනීමේ කටයුතුද සමබරව සිදුකරගෙන යාමටද ඈන් උගත් අයුරු මෙහි දැක්වේ.

එමෙන්ම තරුණ අවධියට පත්වන ඈන්, සිය ගමෙහි සුබසාධන කටයුතුවලට හවුල් වන ආකාරයත්, අන්‍යයන්ගේ සිත් ප්‍රීතියෙන් පුරවාලීමට කටයුතු කරන ආකාරයත් මෙම කතාවල දැක්වේ. අනතුරුව සරසවි අධ්‍යාපනය කරා යොමු වන ඈන්, උපාධිය අවසානයේ ගුරුවරියක බවට පත්වේ. ඇය විවාහ ජීවිතයට එළඹෙන්නේ කුඩා කල සිටම ඇයගේ හොඳම මිතුරා වූ ගිල්බර්ට් බ්ලයිත් සමගයි. 
කතා මාලාවේ අවසන් කතා තුනෙහි දැක්වෙන්නේ ඈන් සිය සැමියා සහ දරුවන් සමග ප්‍රීතිමත් පවුල් ජීවිතයක් ගත කරන ආකාරයයි. විශේෂයෙන් අවසන් කථාංගයෙහි ඈන්ගේ කනිටු දියණිය පිළිබඳව වැඩි වශයෙන් විස්තර සඳහන් වේ. 

එසේම කුඩා කල සිටම ආදර්ශමත් ජීවිතයකට හුරුපුරුදු වූ ඈන් නිරතුරුව වැඩිහිටියන්ගේ උපදෙස් අනුව සිය ජීවිතය යහපත් ලෙස හැඩගස්වා ගැනීමට කටයුතු කළ අයුරු මෙම කතා මාලාව පුරාම දැක්වේ. එමෙන්ම මෙම කතා මාලාව ඇසුරෙන් රූපවාහිනී ටෙලි කතාවක්ද නිර්මාණය විය. ලුසී මෝඩ් කතුවරිය සඳහන් කරන පරිදි ඇය මෙම කෘතින් රචනා කළේ හුදෙක්ම නව යොවුන් වියේ තරුණියන් වෙත කියවීම උදෙසාය. එහෙත් මෙම කෘතින් එළිදැක්වුණු පසු ඇයට වයස් භේදයකින් තොරව විශාල පාඨක පිරිසකගේ යහපත් ප්‍රතිචාර ලැබුණු බව ඇය සඳහන් කරයි.

වර්තමානයේ කැනඩාවේ එඩ්වඩ් කුමාර දිවයිනෙහි (Prince Edward Island) සංචාරය කරන ඕනෑම අයෙකුට ඈන් කෘතිය ඇසුරෙන් නිර්මාණය කළ ඇවන්ලී ගමෙහි සංචාරය කළ හැකිය. මේ හේතුවෙන් කාන්තාවන්ගේ ජීවිත වෙත මනා ආදර්ශ සපයන ඈන් කතා මාලාව සෑම ස්ත්‍රියක විසින්ම සිය ජීවිත කාලයෙහි එක්වරක් හෝ රසවිඳිය යුතු කතා මාලාවකි.

0 comments

Leave a Reply

Post Comment