සබරගමු පළාත් සභාව විසින් යුනිසෙෆ් සංවිධානයේ අනුග්‍රහය යටතේ සබරගමු පළාතේ ක්‍රියාත්මක කරන පෙර පාසල් සඳහා දිවා ආහාර ලබා දීමේ වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමේ වැඩසටහනක් අද (07දා) දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ උතුරු ගෝනගල පිපෙන කැකුළු පෙර පාසලේ සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක සහ යුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්  පැවැත්විණ.

දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා සපුරාලීමට යුනිසෙෆ් ආයතනය, සබරගමු පළාත් සභාව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙම වැඩසටහන මගින් සබරගමු පළාතේ පෙර පාසල් 146ක ළමුන් 3100 කට පමණ දිවා ආහාරය ලබා දේ.

මෙම වැඩසටහනට සමගාමීව සබරගමු පළාතේ දුෂ්කර හා අඩු පහසුකම් ඇති පාසල්වල දරුවන්ගේ ක්‍රීඩා කුසලතා නැංවීමේ වැඩසටහනක් ද අද (07දා) දෙහිඕවිට අධ්‍යාපන කලාපයේ අමිතිරිගල පල්ලේකණුගල කනිෂ්ඨ විද්‍යාලයේ දී සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක සහයුනිසෙෆ්හි දකුණු ආසියානු කලාපීය තානාපති හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

මෙහිදී යුනිසෙෆ් ආයතනයේ දකුණු ආසියානු කලාපීය තානාපති, හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් ටෙන්ඩුල්කාර් මහතා විසින්  ළමුන් සදහා ක්‍රිකට් පුහුණු සැසියක් ද පවත්වන ලදි. එහිදී පාසල් දරුවන් සඳහා අවශ්‍ය ක්‍රිකට් උපකරණ බෙදා දීම ද සිදු විය.

මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවින් දිසානායක මහතා පැවසුවේ පල්ලෙකණුගල කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් ක්‍රීඩාවෙන් සුවිශේෂ වූ දක්ෂතා පෙන්වා ඇති බවත්, එම දරුවන් සඳහා දැනට අඩුපාඩුවක්ව පවතින සෙසු ක්‍රීඩා උපකරණ කඩිනමින් තමා විසින් ලබා දෙන බවත්ය.

පල්ලෙකණුගල කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් 200 පමණ අධ්‍යාපනය හදාරන  අතර කාන්තා පා පන්දු, කාන්තා රගර් ඇතුළු ක්‍රීඩා රැසකින් සමස්ත ලංකා ජයග්‍රහණ රැසක් මෙම විද්‍යාලය විසින් දිනා ඇත. මෙම අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් මහින්ද එස් වීරසූරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ උපාලි චන්ද්‍රකුමාර, පළාත් ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂ සුමුදු කෝරාලෙගෙදර යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සාකල්‍යා සඳමාලි

0 comments

Leave a Reply

Post Comment