බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය චීනයේ ශ්‍රී ලංකා වෙළෙඳ හා ආර්ථික සහයෝගීතා සංගමය (CSLATE) සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගම සමඟ එක්ව චාඕයැංග් දිස්ත්‍රික්කයේ සුප්‍රකට ෂීයු ෂුයි වීදියේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කළේ ය.

විශාල එළිමහන් ප්‍රදේශයක් සහිත මෙම වෙළඳසැල තානාපතිවරයා වෙත නොමිලේ පිරිනමා ඇත. මෙම මුලපිරීම, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 65 ක් සපිරීමේ සංවත්සරය සහ රබර්- සහල් ගිවිසුමේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් තානාපති කාර්යාලය ක්‍රියාත්මක කරන ක්‍රියාකාරකම් මාලාවට ඇතුළත් එක් මුලපිරීමකි.

ෂැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) නියෝජ්‍ය මහලේකම්වරයා, රාජ්‍ය නිලධාරීන්, බීජිං හි රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල නියෝජිතයන් සහ චීන ව්‍යාපාරික ප්‍රජාව මෙම අවස්ථාවට සහභාගී වූහ.

පැමිණ සිටි පිරිස ඇමතූ බීජිං හි ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා, මෙම මුලපිරීම චීනය තුළ ලංකා තේ ප්‍රවර්ධනය කිරීම සඳහා වූ පුරෝගාමී මුලපිරීමක් බව සඳහන් කළ අතර,  CSLATE හි සහ සීමාසහිත බීජිං වන්හොංග්තායි ටෙක්නොලොජි සමූහ සමාගමේ උද්‍යෝගීමත් දැක්ම වෙනුවෙන් සිය ස්තුතිය පළ කළේ ය. මෙය චීනයේ ප්‍රථම ලංකා තේ වෙළඳසැල සහ සංස්කෘතික මධ්‍යස්ථානය වන අතර තවත් බොහෝ තේ වෙළඳසැල් චීනය තුළ විවෘත වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව, තානාපතිවරයා සඳහන් කළේ ය.

ලංකා තේ රසවිඳීම සඳහා තම හිතවතුන් ද කැටුව මෙම තේ වෙළඳසැලට පැමිණෙන ලෙස පැමිණ සිටි පිරිසට තානාපතිවරයා ආරාධනා කළේ ය. ලංකා තේ සතු සුවිශේෂී රස සහ සුවඳ හේතුවෙන් එය ලොව ප්‍රමුඛ පෙළේ කළු තේ අතර ප්‍රමුඛයා බවට පත්ව ඇත. දෙවැනි ලේකම් (තේ ප්‍රවර්ධන) සම්පත් පෙරේරා මහතා ලංකා තේ සකස් කරන අයුරු ප්‍රදර්ශනය කළේය. ඔහු ලංකා තේ නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ කලාප හත සහ ඒවායේ සුවිශේෂී රස සහ සුවඳ පිළිබඳව ද විස්තර කළේ ය.

 

1 comment

diplomat

03 years 01 months 25 days 12 hours 43 minutes 49 seconds ago

for your information this is not the first ,wrong information there are tea shopes in beijing shanghia guanzhou kunming dalian shenzhen and many other cities opened by Sinolan Watawala ,Impra,sinolan opened by respective importers as well as Ambassodrs in the past .Thease were opened with the support of Sri Lanka Tea Board .

Reply

Leave a Reply

Post Comment